සාගලගේ ඇමතිකම ගැන චෝදනා එජාපයෙන්! - 'සත්හඬ' හෙළිකරයි.


නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයෙන් සාගල රත්නායක මහතා ඉවත් කර එම අමාත්‍ය ධුරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතට පවරා ගන්නැයි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි හෙට සත්හඩ පුවත්පත වාර්තා කර තිබේ.

එම පුවත මඟින් පවසන්නේ පසුගිය රාජපක්ෂ පාලන සමයේ සිදුවූ දූෂණ, වංචා කිසිවක් නිවැරැදිව ඔප්පු කිරීමට හෝ දූෂිතයන්ට දඬුවම් ලබා දීමට අදාළ අමාත්‍යවරයා යටතේ පවතින ආයතන සමත් නොවීම එම අමාත්‍යවරුන් මෙසේ ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් කිරීමට හේතු වී ඇති බවයි.

එම පුවතෙහි උපුටා ගත් කොටසක් පහතින්,

"අමාත්‍යවරුන්ගේ ඉල්ලීම සැලකිල්ලට ගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් ජූලි මස (4) වන දින කැබිනට් රැස්වීමේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කළ අතර එහි දී ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ සුපිරි හොරුන් අල්ලා දඬුවම් ලබා දීමට නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලීසිය මාස තුනක් තමා යටතට ලබා දෙන ලෙසයි. 

ජනාධිපතිවරයාගේ යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන්ද ප්‍රසාදය පළ කර තිබිණි. රාජපක්ෂ පාලන සමයේ සිදුවූ දූෂණ වංචා කිසිවක් නිවැරැදිව ඔප්පු කිරීමට හෝ දූෂිතයන්ට දඬුවම් ලබා දීමට නොහැකි වූයේ ආණ්ඩුවේ ඇතැම් පිරිස් රාජපක්ෂවරුන් සමඟ සමීප සම්බන්ධතා පවත්වන නිසා යැයි ද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය පවා පවත්වාගෙන යාම නිෂ්ඵල ක්‍රියාවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා තමා දූෂණ චෝදනා විමර්ශන නිලධාරීන් ගෙන්වා පවත්වන ලද සාකච්ඡාවක දී එම විමර්ශන ආයතනවලට රජයේ පාර්ශ්වයෙන්ම බලපෑම් එල්ල වන බවට ඔවුන් ප්‍රකාශ කර සිටියේ යැයි ද පැවසීය.

කැබිනට් රැස්වීමේ දී ජනාධිපතිවරයා කළ අභියෝගය බාර ගනිමින් නීතිපති දෙපාර්තමේන්තුව සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය ජනපති යටතට පත් කළ යුතු බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් ද ප්‍රකාශ කර ඇත. ජූලි මස 6 වන දින කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ඔහු ඒ බව පවසා තිබිණි.

නීතිපති දෙපාර්තමේන්තුව භාර ඇමැතිවරයාත් පොලීසිය භාර ඇමැතිවරයාත් දූෂිතයන්ට දඬුවම් දීමේ ක්‍රියාවලියට බාධා කරන බව ජනාධිපතිවරයාගේ කතාවෙන් පැහැදිලි වන බවත් ඒ නිසා පළමුකොටම ජනාධිපතිවරයාට නිසි ගෞරවය තිබේ නම් එම ඇමැතිවරු ඒ අමාත්‍යාංශය ජනාධිපතිවරයාට පැවරිය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ද ප්‍රකාශ කර සිටියේය.

ඉකුත් ජූලි (05) වන දින පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපතිවරයා පෙන්නුම් කර ඇති ආකාරයට මෙම ආයතන දුර්වල කොට ඇති බවයි. අදාළ ඇමැතිවරුන් දූෂිතයන් ආරක්ෂා කරන බවත් වත්මන් ආණ්ඩුව දූෂිතයන් ආරක්ෂා කිරීම පමණක් නොව දූෂිත පාලනයක් බවට පත්වී ඇතැයි ද ඔහු චෝදනා කළේය.

මේ අතර ඉකුත් ජූලි මස 6 වන දින අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවක දී පසුගිය කැබිනට් රැස්වීමේ දී ජනාධිපතිවරයා කළ ප්‍රකාශය පිළිබඳව අමාත්‍ය සාගල රත්නායක මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළහ. අමාත්‍යවරයා එහි දී පැවසුවේ කැබිනට් රැස්වීමේ දී කතා කරන කරුණු මාධ්‍ය සමඟ කතා කිරීමට කැබිනට් ප්‍රකාශකවරුන් තිදෙනෙකු පත්කර ඇති නිසා ඒ පිළිබඳව කතා කිරීම ඔවුන්ටම බාර කරන බවයි.

තමන් නීතිය අනුව හැදුණු වැඩුණු කෙනෙකු බවත් නීතිය කඩ කිරීමට අකැමැති බවත් නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතනවලට ස්වාධීනව සිය කටයුතු කරගෙන යාමට අවස්ථාව ලබා දී ඇති බවත් තමන් ඒ සඳහා කිසිදු විටෙක බලපෑම් නොකරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය. එසේ ස්වාධීනව කටයුතු කිරීම රජය එම ආයතනවලින් බලාපොරොත්තු වී ඇති කාරණාවක් බව ද ඔහු අවධාරණය කළේය. කෙසේ වුව ද අමාත්‍යාංශය ලබා දීමෙන් පවරන ලද වගකීම සියයට සියයක් ඉටුකර ඇති බවත් එසේ වුව ද වගකීම වෙනස් කර වෙනත් වගකීමක් පවරනු ලැබූව ද එය ද සියයට සියයක් ඉටු කිරීමට තමන් සූදානමින් සිටින බව ද ඔහු අවධාරණය කළේය."

-දයා නෙත්තසිංහ (සත්හඬ)




Powered by Blogger.