සම්බන්ධන් නිදහස් සටනේ නායකයෙක්: අගමැති. - Info Sri Lanka News | Sinhala

සම්බන්ධන් නිදහස් සටනේ නායකයෙක්: අගමැති.


ශ්‍රී ලංකාවට නිදහස ලබාගැනීම සදහා 1948 දී ඩී.එස්. සේනානායක සමග කැප වුණු පිරිස අතුරින් අදත් ජීවතුන් අතර සිටින්නේ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පමණක් බව අගමැතිවරයා පවසයි.

අගමැති ඩී.එස්. සේනානායක සමග නිදහස් ශ්‍රී ලංකාවක් බිහිකිරීමට එක්වීමට ලැබීම ගැන ද්‍රවිඩ ජාතිකයකු, හින්දු භක්තිකයකු ලෙස එතුමා ආඩම්බර වු බවයි අගමැති රනිල් වික්‍රමසිංහ පවසන්නේ.

“එක් එක් ආගම්වලට තම දර්ශනය, ඇදහීම් අත්හැර පොදු හැදින්වීමක් ඇති කිරීමට එතුමා උත්සාහ කළේ නැහැ. නමුත් සිංහල, දෙමළ, මුස්ලිම් හෝ කුමන ජාතියක හෝ වේවා එම විවිධත්වය පදනම්ව ශ්‍රී ලංකාව අපේ මව්බිම බවත්, ඉදිරියට යා යුතු බවත් එතුමා පැවසුවා” යැයි අගමැතිවරයා පවසා ඇත්තේ ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය විසින් සම්පාදනය කරන “people of sri lanka” ග‍්‍රන්ථය ජනගත කිරීමේ උළෙලට 18 අගහරුවාදා සහභාගී වෙමිනි.

ශ්‍රී ලංකාවේ වාසය කරන ජන වර්ග 19 ක් පිළිබඳ තොරතුරු, ඔවුන්ගේ සංස්කෘතීන් සහ සිරිත් විරිත් පිළිබඳ කරුණු ඇතුළත් කරමින් ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන්ගේ මග පෙන්වීම යටතේ මෙම ග‍්‍රන්ථය සම්පාදනය කර තිබේ.

එබැවින් අමාත්‍ය මනෝ ගනේෂන්ගේ ප්‍රධානත්වයෙන් ඉදිරිපත් කරන “ශ්‍රී ලංකාවේ ජනතාව” ග්‍රන්ථයෙන් ද එම විවිධත්වය මත ඉදිරියට යාමට මග පාදා දෙන බව ඔහු පවසා තිබේ.

අමාත්‍ය මනෝ ගනේෂන් රාජ්‍ය බලය තිබුණත් නැතත් සියළුම ජන වර්ගවලට, සියලූම ආගම්වලට මදි පුංචි කම් නොකර ජාතික සමගිය එකතුව වෙනුවෙන් සටන් කර තිබෙන බවයි අගමැතිවරයා එහිදී පවසා ඇත්තේ.

ජාතික සමගිය

ඔහු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හැමවිටම සටන් කර තිබෙන බැවින් ජාතික සමගිය එකමුතුව ගොඩනැගීමේ කාර්යය භාරගැනීමට සුදුසුම පුද්ගලයා මනෝ ගනේෂන් අමාත්‍යවරයා බවත් අගමැතිවරයා එහිදී සදහන් කර තිබේ.

අගමැති ඩී.එස්. සේනානායකගේ කාලයෙන් පසු වසර 30 ක ජාතිවාදී, බෙදුම්වාදී යුද්ධයකට මුහුණදීමට සිදුවු අතර යුද්ධයෙන් පසුව පළමු වරට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සියලූ ජාතීන් සමග එකට එකතුවී ඉදිරියට යාමට උත්සාහ කරන බව අගමැතිවරයා පවසයි.

ආණ්ඩුවේ දේශපාලනය ජාතිවාදය, ආගම්වාදය නොවන අතර ආර්ථික, දේශපාලන සමාජ දර්ශනයෙන් යුතුව රට පාලනය කිරීම බව ඔහු එහිදී පවසා තිබේ.‍

නැවත ත්‍රස්තවාදය ඇතිවේදැයි යන බිය කාලයක් පැවැති තිබුන නමුත් ඒ බිය දැන් තුරන් වී තිබෙන බව පෙන්වා දෙන අගමැති රනිල් වික්‍රමසිංහ 2015 වසරින් පසුව සුළු ජාතීන් මර්දනය කිරීමේ බිය පහව ගොස් තිබෙන බවද පවසා තිබේ.

පළමුවෙන් ජාතීන් අතර වැටහීමක් ඇති කළ යුතු අතර සියලු දෙනා එකතු වී සමගියෙන් ජීවත් වී ඉදිරියට යා යුතු බවයි ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

රට නොබෙදන ව්‍යවස්ථාවක්

මේ වන විට ජාතීන් අතර එම වැටහීම ඇති කිරීමට හැකිවී තිබෙන නිසා ව්‍යවස්ථා සම්බන්ධව වැඩකටයුතු කිරීමටත් හැකියාව ලැබී තිබෙන බව ඔහු පවසයි.

“මෙය රට බෙදන වාර්තාවක් නොවෙයි. බහුතරයක හෝ සුළුතරයක වාර්තාවක් නොවෙයි. මේ වාර්තාව සඳහා ජනතාවගේ අදහස් ලබා ගත යුතුයි. ඒ පිළිබඳ විවාදයක් ඇති කළ යුතුයි. විවිධ කරුණු ගැන තමාගේ අදහස ලබා දිය යුතුයි. ඒ අදහස්, කරුණු මත පදනම්ව ව්‍යවස්ථා දායක සභාවට අවසන් වාර්තාව සකස් කළ හැකියි. මෙය ආරම්භයක් පමණයි”. රනිල් වික්‍රමසිංහ වැඩි දුරටත් පවසා තිබේ.

ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව සිය වගකීම් වසර 2ක් තුළ ඉටුකර තිබෙන අතර දැන් වේගයෙන් ඉදිරියට යාමට හැකියාව තිබෙන බැවින් ඒ සඳහා සියලූ දෙනාගේ සහයෝගය ඉල්ලා සිටින බවත් අගමැතිවරයා එහිදී පවසා ඇත.

ග‍්‍රන්ථයේ පළමු පිටපත අමාත්‍ය මනෝ ගනේෂන් විසින් ජනාධිපතිතුමා වෙත පිළිගන්වා තිබේ.

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත උනා මැකෝලී වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් එහිදී සමරු තිළිණයක් ද එහිදී පිළිගන්වා තිබේ.

කථානායක කරූ ජයසූරිය, විපක්ෂනායක ආර්. සම්බන්ධන්, ඇතුළු මැති ඇමතිවරුන් ද, ආණ්ඩුකාරවරුන්, පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරින් සහ දෙස් විදෙස් ආරාධිත පිරිසක් ග‍්‍රන්ථය එළිදැක්වීමේ උළෙලට එක්ව තිබේ. 

Share on Google Plus