ජනපතිට පැරණි මිතුරෙකු හමුවෙයි - දෙවැනි මනමාලයා ලෙසත් මෛත්‍රී ඉඳලා. - Info Sri Lanka News | Sinhala

ජනපතිට පැරණි මිතුරෙකු හමුවෙයි - දෙවැනි මනමාලයා ලෙසත් මෛත්‍රී ඉඳලා.


පානදුර නගර සභා ක්‍රීඩාංගණයේදී අද (19දා) පෙරවරුවේ පැවති "මතින් නිදහස් රටක්” ජාතික වැඩසටහනේ කළුතර දිස්ත්‍රික් සමුළුව අවසානයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තම පැරණි මිතුරෙකු හමුවීමේ අපූර්ව අවස්ථාවක් උදාවිය.

සමුළුව අවසන් කළ ජනපතිවරයා පා ගමනින් ජනතාව අතරින් ඉදිරියට යද්දී ඔහු හමුවීමට විශේෂ අමුත්තෙක් පැමිණියේය. ඒ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කුඩා කල සමීපතම මිතුරෙකි.

මෙසේ ජනපතිවරයා හමුවීමට පැමිණි සමීපතම මිතුරා වූයේ විශ්‍රාමික  ගුරුවරයෙකු මෙන්ම ප්‍රකට සමාජ සේවකයෙකු ද වන පානදුර මාලමුල්ලේ ජයසේන පිරිස් මහතාය.

60 දශකයේ ගුරුවරයෙකු  ලෙස පත්වීම් ලැබ  පොළොන්නරුව ඇතුමල්පිටිය පාසලේ සේවයට ගොස් සිටි අවධියේ ජයසේන මහතාගේ සමීපතම මිතුරාව සිට ඇත්තේ එවක පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ උසස් පෙළ සිසුවෙකු වූ මෛත්‍රීපාල සිරිසේන මහතායි.

ඔවුන් අතර මිතුදම කොතෙක් ගැඹුරු වී ද යත්  ජයසේන මහතාගේ විවාහයේ දෙවන මනාලයා ලෙස එක්වී ඇත්තේද මෛත්‍රීපාල සිරිසේන මහතාය.


Share on Google Plus