'පරීක්ෂණයක් නැතිව හිටපු ජනපති ගෙදරක් රාජසන්තක කරලා' - Info Sri Lanka News | Sinhala

'පරීක්ෂණයක් නැතිව හිටපු ජනපති ගෙදරක් රාජසන්තක කරලා'


ආරක්ෂක ඇමතිවරයා සතු බලතල භාවිත කරමින්  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  විසින් වැල්ලවත්තේ තට්ටු තුනක ගොඩනැගිල්ලක් රාජසන්තක කිරීම මඟින් එම නිවස අයිති ව්‍යාපාරික යුවලගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම යුවලට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවීමට අද (27) නියම කළේය.

එම නිවස වැල්ලවත්තේ චැපල් පටුමගේ පිහිටා තිබුණු අතර අයිතිය තිබුණේ දෙමළ ජාතික ව්‍යාපාරිකයකුටය. එල්.ටී.ටී.ඊ සංවිධානයට අරමුදල් රැස්කරන බව හා  එම සංවිධානයට අයිති ගොඩනැඟිල්ලක් බව  තීරණය කරමින්  නිවස  රාජසන්තක කර තිබිණි.

ගොඩනැගිල්ල සති 08ක කාලයක් තුළ එහි හිමිකරුවන්ට බාරදෙන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය  වැඩිදුරටත් නියම කළේය. නිවස හිමි යුවළ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා ඉදිරිපත් කළ කරුණු පිළිගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස මෙම නියෝගය කළේය.

මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අළුවිහාරේ සහ අනිල් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග විය.

මෙම පෙත්සමෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා, එය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා,   ජනාධිපති ලේකම්   සහ නීතීපතිවරයා වගඋත්තරකරුවෝ කරනු ලැබ සිටියහ.

මෙම චෝදනා සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයෙන්   කිසිදු පරීක්ෂණයක් නොපැවැත්වු බවත් මේ සම්බන්ධයෙන් කිසිදු හේතු විමසීමකින් තොරවම ආරක්ෂක ඇමතිවරයා ලෙස එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය බලතල පාවිච්චි කරමින් 2009 දෙසැම්බර් 17 වැනිදා තම සේවාදායකයින් සතු මෙම ගොඩනැගිල්ල අයත් පරිශ්‍රය රාජසන්තක කළ බවත් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා වැඩිදුරටත් දැනුම් දුන්නේය.

ආරක්ෂක ඇමතිවරයා ලෙස එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය බලතල පාවිච්චි කරමින් කිසිදු පරීක්ෂණයක් නොපවත්වා, කිසිදු හේතු විමසීමකින් තොරව මෙම ගොඩනැගිල්ල අයත් පරිශ්‍රය රාජසන්තක කිරීමෙන් පෙත්සම්කරුවන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ විභාගයකින් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

Share on Google Plus