හම්බන්තොට වරායේ සම්පුර්ණ හෙළිදරව්ව.


හම්බන්තොට මාගම්පුර වරායේ මෙහෙයුම් කටයුතු රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ පවත්වාගෙන යාම සඳහා වූ ශ්‍රී ලංකා රජය සහ චීනයේ "චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංස් සමාගම" අතර ගිවිසුමට අද (ජුලි 29) කොළඹ දී අත්සන් තැබුණි.

පෙරවරු 10.43 ට එළඹුණු සුභ මොහතින් කොළඹ වරාය අමාත්‍යංශ පරිශ්‍රයේදී ගිවිසුමට අත්සන් තැබූ අවස්ථාවට මැති ඇමතිවරුන් සහ චීනයේ චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංස් සමාගමේ නිලධාරීහු ද එක්ව සිටියහ.

වරාය හා නාවික කටයුතු අමාත්‍යංශ ලේකම් එල්පී ජයම්පති සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ද චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංස් සමාගම වෙනුවෙන් එහි උප සභාපති ආචාර්ය හූ ජියාන්හුවා (Dr. Hu Jianhua) ද ගිවිසුමට අත්සන් තැබූහ.

විනාඩි 40ක පමණ කෙටි වේලාවකට සීමා වූ ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවය අමතා වරාය අමාත්‍ය මහින්ද සමරසිංහ, මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංස් සමාගමේ උප සභාපතිවරයා අදහස් දැක්වූහ.

'සංශෝධනය කළ හැකියි'

උත්සවය අමතා අදහස් දැක්වූ වරාය අමාත්‍ය මහින්ද සමරසිංහ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ නියමයෙන් මෙම ගිවිසුම ඕනෑම මොහොතක සංශෝධනය කළ හැකි බවට වගන්තියක් අවසාන මොහාතේ ගිවිසුමට ඇතුළත් කළ බව කියා සිටියේය.

චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංස් සමාගම වෙනුවෙන් එහි උපසභාපති ආචාර්ය හූ ජියාන්හුවා අදහස් දක්වමින්: හම්බන්තොර වරාය අයිතිය තිබෙන්නේ ශ්‍රී ලංකාවාසීන්ට බව අවධාරණය කළේය.

"මිනිසුන්ට ජාතිකත්වයක් සහ පුරවැසිභාවයක් තියෙනව. ඒත් ආයෝජනවලට, ව්‍යාපාරවලට දේශසීමා නැහැ. මේ වරාය ඉදිකරලා තියෙන්නේ හම්බන්තොට. කිසිවෙකුටත් එය එතැනින් ඉවත් කළ නොහැකියි. එහි අයිතිය තියෙන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට," ඔහු පැවසීය.

"හම්බන්තොට වරායට අදාළ ව්‍යාපාර දේශසීමා තරණය කරමින්, ඉන්දීය සාගරය හරහා යුරෝපය ඇතුළු සමස්ත ලෝකය දක්වා ව්‍යාප්ත වේවි."

ඉතිහාසයේ ලැබී ඇති වැඩිම තනි ආයෝජනය:

උත්සවයෙන් අනතුරුව 'බීබීසී'ය සමග අදහස් දැක්වූ මුදල් අමාත්‍ය මංගල සමරවීර, ශ්‍රී ලංකාවට ඉතිහාසයේ ලැබී ඇති වැඩිම තනි ආයෝජනය මෙය බව පෙන්වා දුන්නේය.

මෙමගින් ශ්‍රී ලංකාව ලබාගෙන තිබෙන විදේශ ණය ප්‍රමාණය කළමනාකරණය කර ගැනීමේ හැකියාව ලැබෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

රාජ්‍ය හවුල්කාර සමාගම් දෙකක්:

නව අනුග්‍රාහක ගිවිසුම අනුව ශ්‍රී ලංකා රජය (ශ්‍රී ලංකා වරාය අධිකාරිය) රාජ්‍ය හවුල්කරු වශයෙන් ද අදාළ ආයෝජක සමාගම පෞද්ගලික හවුල්කරු වශයෙන් ද සම්බන්ධ වී සමාගම් දෙකක් පිහිටුවීමට නියමිතය.

1. Hambantota International Port Services Co.(Pvt) Ltd. - (HIPS) සමාගම පිහිටුවනු ලබන්නේ හම්බන්තොට වරායේ සේවාවන් හා පොදු පහසුකම් කළමනාකරණය සඳහාය. එහි ප්‍රාග්ධනය ඇමරිකානු ඩොලර් මිලියන 606 ක් වනු ඇත. මෙම සමාගමේ කොටස්වල 50.7% ක අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරියටද ඉතිරි 49.3% ක අයිතිය CMPort සමාගමටද හිමිවනු ඇත.

2. Hambantota International Port Group (Pvt) Ltd - (HIPG) සමාගම. 
වරායේ මෙහෙයුම් වත්කම් කළමනාකරණය, වැඩිදුර සංවර්ධන කටයුතු, එහි යටිතල පහසුකම් හා බහාලුම් මෙහෙයවීම අනෙකුත් මෙහෙයුම් වාණිජකරණය පිණිස පිහිටුවනු ලබන, ප්‍රාග්ධනය ඇමරිකානු ඩොලර් මිලියන 794 ක් වන මෙම සමාගමේ කොටස් ප්‍රාග්ධනය දැනට කොළඹ වරායේ SAGT පර්යන්තයේ හා CICT පර්යන්තයේ මෙහෙයුම්වල කොටස් හිමිකම බෙදී ගොස් ඇති ආකාරය අනුවම ශ්‍රී ලංකා වරාය අධිකාරියට 15% ක් ද, CMPort සමාගමට 85% ක් ද වශයෙන් හිමි වනු ඇත.

හම්බන්තොට වරායේ මුල් ගිවිසුමේ යෝජනා වූ සියයට 80:20 කොටස් බෙදී යාමේ පදනම වෙනුවට CMPort සමාගමට සියයට 69.55 ක් හා ශ්‍රී ලංකා වරාය අධිකාරියට සියයට 30.45 වශයෙන් සමස්ත ආයෝජනයෙහි කොටස් අයිතිය මෙම නව ගිවිසුම යටතේ සංශෝධනය වන බව රජය පවසයි.

ඩොලර් 01 කට ශ්‍රී ලංකාවට :

ගිවිසුම බලාත්මක වන දිනයේ සිට වසර 99කට එනම් 2116 දී CMPort සමාගම, එහි අනුබද්ධ පාර්ශ්ව හා හවුල්කරුවන් විසින් HIPS හා HIPG යන සමාගම්වල දරනු ලබන සියලුම කොටස් අයිතිය, CMPort ආයතනය විසින් ඇමරිකානු ඩොලර් 01 ක මුදලකට ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත පවරා දිය යුතු බව ද ගිවිසුමේ සඳහන් වෙයි.

යුදමය ක්‍රියාවන් සඳහා හම්බන්තොට වරාය භාවිත කිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය විධිවිධාන ද යෝජිත ගිවිසුමේ ඇතුළත්ව ඇති බව රජය පවසයි. නව ගිවිසුම ප්‍රකාර වරායේ ආරක්ෂාව සම්බන්ධයෙන් සම්පූ‍ර්ණ වගකීම හා අධිකාරිය ශ්‍රී ලංකා රජය සතුවේ.

ගිවිසුම අනුව රජය බදු දෙන ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 1151 කි.

මූලෝපායික වශයෙන් වැදගත් හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු සඳහා චීන සමාගමක් සම්බන්ධ කර ගැනීමෙන් අසල්වැසි ඉන්දියාව පවා දැඩි අසීරුතාවකට පත්වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය යටපත් වන බැවින් අදාළ ගිවිසුමට තමන් විරුද්ධ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂ කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

කෙසේ නමුත් අදාළ ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට බලපෑමක් එල්ල නොවන බව ශ්‍රී ලංකා ආණ්ඩුව දිගින් දිගටම අවධාරණය කරයි.

අදාළ ගිවිසුමට අනුව ශ්‍රී ලංකා රජය සහ 'චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංස්' සමාගම එක්ව සමාගම් 02 පිහිටුවීමට නියමිය.


"රට පාවා දීමක්"


2014 වසරේ සැප්තැම්බර් මාසයේ දී චීන ජනාධිපති ෂී ජින්පින් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය

හම්බන්තොට වාරයේ නාවික යාත්‍රා ආරක්ෂණ සේවා, හදිසි ප්‍රතිචාර, පරිසර දූෂණ පාලනය සහ නාවික සේවා යන අංශ බාරව කටයුතු කරන ඉන් එක සමාගමක පාලනයෙන් 42% පමණක් වරාය අධිකාරියට හිමිවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

එමෙන්ම ආදායම් උපයන සෙසු සමාගමෙන් 85% චීන සමාගමට හිමිවන බැවින් එහි ආදායම ද එම සමාගමට ලබා දිය යුතු බවත් ඔහු කියා සිටී.

එහි හිමිකාරිත්වයෙන් 15% පමණක් ශ්‍රී ලංකා රජයට හිමි වන බැවින් තවදුරටත් ක්‍රියාත්මක කිරීමට නියමිත ඉදිකිරීම්, යටිතල පහසුකම් සහ වාණිජ කටයුතුවල චීන සමාගම විසින් පාලනය කරනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

අදාළ ගිවිසුමට අත්සන් තැබීමට එරෙහිව සෙනසුරාදා උදෑසන වරාය අධිකාරිය ඉදිරිපිට දී විරෝධතාවක් පැවැත්විණි.

වරාය සේවක සංගමය විසින් සංවිධානය කරන ලද විරෝධතාවට එක් වූ සේවකයන් කියා සිටියේ හම්බන්තොට වරාය චීනයට "විකිණීමෙන්" ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ "රට පාවා දී" ඇති බවය.

හම්බන්තොට වරාය ගිවිසුමට විරෝධය පාමින් ජනතා විමුක්ති පෙරමුණ ද සෙනසුරාදා අම්බලන්තොට දී විරෝධතාවක් සංවිධානය කර තිබිණි.


'එකම තීරයක් - එකම මාවතක්'

මේ අතර ගිවිසුමට අත්සන් තැබීමෙන් අනතුරුව 'චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංස්' සමාගම වෙනුවෙන් එහි උපසභාපති ආචාර්ය හූ ජියාන්හුවා අදහස් දක්වමින් කියා සිටියේ හම්බන්තොර වරායේ අයිතිය තිබෙන්නේ ශ්‍රී ලංකාවාසීන්ට බවය.

"මිනිසුන්ට ජාතිකත්වයක් සහ පුරවැසිභාවයක් තියෙනව. ඒත් ආයෝජනවලට, ව්‍යාපාරවලට දේශසීමා නැහැ. මේ වරාය ඉදිකරලා තියෙන්නේ හම්බන්තොට. කිසිවෙකුටත් එය එතැනින් ඉවත් කළ නොහැකියි. එහි අයිතිය තියෙන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට," ඔහු වැඩිදුරටත් පැවසීය.

චීනයේ සිට යුරෝපය දක්වා වරායන් සම්බන්ධ කෙරෙන 'එකම තීරයක් - එකම මාවතක්' සංකල්පයේ ප්‍රධාන ස්ථානයක් හම්බන්තොට වරායට හිමිවනු ඇත.

කලාපීය ප්‍රතිවාදීන් වන ඉන්දියාව සහ ජපානය ද ඒ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසු වෙති.

යුද්ධයෙන් පසු

රට මුහුණ දී ඇති 'ණය උගුලෙන්' බේරීම සඳහා චීන සමාගම හා අත්සන් තබන ලද ගිවිසුම උපකාර වනු ඇති බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.

2009 වසරේ දී යුද්ධය නිමවීමත් සමග එවක පැවති මහින්ද රාජපක්ෂ පාලනය විසින් චීනයෙන් ඩොලර් බිලියන ගණනක ණය ලබා ගනිමින් මහාමාර්ග, වරාය සහ ගුවන් තොටුපල සංවර්ධනය කරනු ලැබීය.

එම ණය මුදල් නැවත ගෙවීමේ අරගලයක නිරතව සිටින ශ්‍රී ලංකා රජය, අදාළ ගිවිසුම අත්සන් තැබීමෙන් ලැබෙන මුදල් එම ණයෙන් කොටසක් ගෙවීම සඳහා යොදවන බව පවසයි.


(බීබීසී සිංහල සේවය)

Share on Google Plus