හෙළ සිනමාවේ 'ජනප්‍රියම' සහ 'හොඳම' ජයග්‍රාහකයන්.


ඇතැම් ශ්‍රී ලාංකේය සිනමා රංගන ශිල්පිනියන්හට සිය අද්විතීය රංග ප්‍රතිභාව හේතුකොටගෙන ‘හොඳම නිළිය’ (Best Actress) සම්මානයෙන් කිහිපවාරයක් පිදුම් ලැබීමට වරම් හිමිවුවද , ජන සිත් වශීකෘත කල හැකි වූ සුවිසල් තාරකා ගුණයක් ඔවුන් සතු නොවීම හේතුකොටගෙන ‘ජනප්‍රියම නිළිය’ (Most Popular Actress) සම්මානයේ පහස භුක්ති විඳීමේ වරම ඔවුනට අහිමිවිය. එසේම ඇතැම් ශ්‍රී ලාංකේය සිනමා රංගන ශිල්පිනියන්හට තමන් සතු සුවිසල් තාරකා ගුණය හේතුකොටගෙන ‘ජනප්‍රියම නිළිය’ සම්මානය කිහිපවාරයක් දෝත දැරීමට වරම් හිමිවුවද , අද්විතීය රංග විශිෂ්ටත්වය වෙනුවෙන් පිරිනමන ‘හොඳම නිළිය’ සම්මානයෙන් පිදුම් ලැබීමට ඔවුහු සමත් නොවුහ. මෙලෙස විශිෂ්ටත්වය හමුවේ තරු ගුණය සැඟව යාමත්, තරු ගුණය හමුවේ විශිෂ්ටත්වය ඉස්මතු නොවීමත්, යුග යුග පසු කල ශ්‍රී ලාංකේය සිනමාව ඇතුළුව ලොව ඕනෑම රටක ඕනෑම සිනමා කර්මාන්තයකට පොදු වූ සත්‍යයකි. එකී පොදු සත්‍ය 1947 වර්ෂයේ ජනවාරි 21 දා පටන් 2017 වර්ෂයේ ජනවාරි 20 දක්වා වූ, දශක හතක කාල පරිච්ඡේදය තුල මෙරට තිරගතවුනු ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපට හරහා රංගනයට එක්වූ 550 කට ආසන්න වූ දේශීය රංගන ශිල්පිනියන්ගේ වතගොත පිරික්සීමේදී මනාව පසක් වේ. එනමුදු එවන් පොදු වූ සත්‍යයකට අභියෝග කරමින්, යම් ශ්‍රී ලාංකේය රංගන ශිල්පිනියක සිය සිනමා රංගන ගමන්මගේදී ,විශිෂ්ටත්වයේ සම්මානයෙන් මෙන්ම ජනප්‍රියත්වයේ සම්මානයෙන්ද යන ද්විත්ව සම්මානයෙන්ම පිදුම් ලබයිද, එය විරල ජයග්‍රහණයකි. එලෙසින් විද්වත් ජූරියක් විසින් පිරිනමන ලද ‘හොඳම නිළිය’ සම්මානයද , ජනතා ජූරිය විසින් පිරිනමන ලද ‘ජනප්‍රියම නිළිය’ සම්මානයද යන සම්මාන ද්විත්වයෙන්ම පිදුම් ලබමින් පෙරකී විරල ජයග්‍රහණයක උරුමක්කරුවන් බවට පත්වීමට සමත්ව ඇත්තේ රුක්මණී දේවී, පුණ්‍යා හීන්දෙනිය, අනුලා කරුණාතිලක, මාලනී ෆොන්සේකා, ගීතා කුමාරසිංහ, සබීතා පෙරේරා, අනෝජා වීරසිංහ, දිල්හානි අශෝකාමාලා, සංගීතා වීරරත්න සහ යශෝධා විමලධර්ම යන රංගන ශිල්පිනියන් 10 දෙනා පමණකි. එනමුදු ඒ අතුරින්ද පෙරකී සම්මාන ද්විත්වයම, එක් වාරයකට වඩා වැඩි අවස්ථා ගණනකදී දෝත දැරීමට සමත්ව ඇත්තේ රංගන ශිල්පිනියන් 06 දෙනෙකු පමණි. ශ්‍රී ලාංකේය සිනමාවට 70 වසරක් පිරීම නිමිත්තෙන් එළිදකින ෛඑතිහාසික ඡායාරූප පෙළහරක පළමුවැන්න වෙනුවෙන් එකී රංගන ශිල්පිනියන් 06 දෙනා මෙසේ එක් වූ වගයි.

අනුලා කරුණාතිලක: හොඳම- 04/ ජනප්‍රියම- 03 
මාලනී ෆොන්සේකා: හොඳම- 14/ ජනප්‍රියම- 26
ගීතා කුමාරසිංහ: හොඳම- 09/ ජනප්‍රියම- 03
සබීතා පෙරේරා: හොඳම- 04/ ජනප්‍රියම- 04
දිල්හානි අශෝකාමාලා: හොඳම- 05/ ජනප්‍රියම- 03
සංගීතා වීරරත්න: හොඳම- 04/ ජනප්‍රියම- 07

අනුලා කරුණාතිලක
1963 වර්ෂයේ තිරගතවූ ‘ගම්පෙරළිය’ සිනමාපටයෙන් දේශීය සිනමා වංශ කථාවට එක්වූ අනුලා කරුණාතිලක, ශ්‍රී ලාංකේය සිනමා සම්මාන උළෙල වේදිකාවකදී (හය වෙනි සරසවිය සම්මාන උළෙල- 1969) ‘හොඳම නිළිය’ සහ ‘ජනප්‍රියම නිළිය’ යන සම්මානයන් ද්විත්වයෙන්ම එකවර පිදුම් ලද ‘පළමු ශ්‍රී ලාංකේය නිළිය’ ලෙසින් ඉතිහාසගතව ඇත. දශක පහක් ඉක්මවූ සිය සිනමා රංගන චාරිකාවේදී සිනමාපට 25 කට ආසන්න වූ සංඛ්‍යාවක් තුල රංගනයේ යෙදුනු ඇය, ‘හොඳම නිළිය’ ලෙසින් 04 වතාවක්ද (සරසවි, එක්සත් ලංකා, විචාරක, ගුවන්විදුලි සිනමා සම්මාන), ‘ජනප්‍රියම නිළිය’ ලෙසින් 03 වතාවක්ද (සරසවි) සම්මානනීය වීමට සමත් වුවාය.

මාලනී ෆොන්සේකා
කලාත්මක සිනමාව සහ ජනප්‍රිය ධාරාවේ සිනමාව යන සිනමා ධාරා ද්විත්වයම එකසේ ජයගනිමින් ශ්‍රී ලාංකේය සිනමාවේ අග්‍ර රාජිණිය ලෙසින් කිරුළු පැළඳි මාලනී ෆොන්සේකා, 1968 වර්ෂයේ තිරගතවුනු ‘පුංචි බබා’ සිනමාපටය හරහා දේශීය සිනමා වංශ කථාවට එක්විය. වත්මන් සිනමාව තුල සක්‍රීයව සිටිනා හෝ අනාගතයේදී සිනමාවට එක්වන හෝ, කිසිඳු ශ්‍රී ලාංකේය රංගන ශිල්පිනියකට පහසුවෙන් ලඟාවිය නොහැකි සම්මාන සංඛ්‍යාවක (50 අධික) හිමිකාරිනිය වන ඇය , සිය අද්විතීය රංග ප්‍රතිභාව හේතු කොටගෙන 14 වතාවක් ‘හොඳම නිළිය’ සම්මානයෙන් (සරසවි, ජනාධිපති, OCIC- SIGNIS, විචාරක, ස්වර්ණ සංඛ) දේශීයව පිදුම් ලැබීමට සමත් වුවාය. එසේම, ලොව ‘ඒ ශ්‍රේණියේ’ අන්තර්ජාතික තරඟකාරී සිනමා උළෙලයන් ද්විත්වයක ලද සම්මාන ඇතුළුව ජාත්‍යන්තර සම්මාන 05 ක හිමිකාරිත්වයක්ද මාලනී ෆොන්සේකා සතුවේ. එයට අමතරව හෙළ සිනමා තාරකා මණ්ඩලයේ පෑයූ සුපිරිතම තාරකාවිය වෙමින් ‘ජනප්‍රියම නිළිය’ සම්මානය 26 වතාවක් (සරසවි, දීපශිකා, සරසවි ජනතා, වනිතා, නවලිය, People’s Awards) දෝත දැරීමට ඇය සමත්ව ඇත. එලෙසම එදා මෙදා තුර ආසියාවේ බිහිවූ විශිෂ්ටතම රංගන ශිල්පිනියන් 10 දෙනාගෙන් එක් අයෙකු ලෙසින් 2010 වර්ෂයේ කලාපීය ශ්‍රේණිගත කිරීම්තුලට (Regional Rankings) ඇතුලත් වූ ඇය, ලෙස්ටර් ජේම්ස් පීරිස්ට පසුව ලෝක හෝ කලාපීය ශ්‍රේණිගත කිරීම්තුලට (World Rankings or Regional Rankings) එක්වූ එකම ශ්‍රී ලාංකේය සිනමා වෘත්තිකයාද වේ.

ගීතා කුමාරසිංහ 
1975 වර්ෂයේ තිරගතවූ ‘ලස්සන කෙල්ල’ සිනමාපටයෙන් දේශීය සිනමා වංශ කථාවට එක්වූ ගීතා කුමාරසිංහ, දශක හතරක් ඉක්මවූ සිය සිනමා චාරිකාව තුලදී රංගනයෙන් දායක වූ සිනමාපට සංඛ්‍යාව 85 කට ආසන්න වේ. කලාත්මක සිනමාව සහ ජනප්‍රිය ධාරාවේ සිනමාව යන සිනමා ධාරා ද්විත්වයම එකසේ ජයගත් අතලොස්සක් වූ ශ්‍රී ලාංකේය නිළියන් අතර ප්‍රමුඛ පෙළ නිළියක් ලෙසින් වර්ගීකරණයට ලක්වන ගීතා කුමාරසිංහ , සිය රංග විශිෂ්ටත්වය උදෙසා අවස්ථාවන් 09 කදී ‘හොඳම නිළිය’ සම්මානයෙන්ද (සරසවි, ජනාධිපති, OCIC- SIGNIS, ස්වර්ණ සංඛ), සිය තාරකා ගුණය හේතුකොට ගෙන අවස්ථාවන් 03 කදී ‘ජනප්‍රියම නිළිය’ සම්මානයෙන්ද (සරසවි) පිදුම් ලැබීමට සමත් වුවාය.

සබීතා පෙරේරා 
ජනප්‍රිය ධාරාවේ සිනමාපට හරහා ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තය තුල මෙන්ම පකිස්ථානු සිනමා කර්මාන්තය තුලද ජනප්‍රියත්වයේ හිනිපෙත්තට නැගි සබීතා පෙරේරා, විදේශීය රටක සිනමාපට තුල රංගනයේ යෙදෙමින්, එකී රටේ ජාතික සම්මාන උළෙලකදී ඇගයීම් ලද පළමු ශ්‍රී ලාංකේය සිනමා නිළිය ලෙසින් ඉතිහාසයට එක්ව ඇත. 1967 වර්ෂයේ තිරගත වුනු ‘හතර කේන්දරේ’ සිනමාපටය තුලින් ළමා නිළියක ලෙසින් දේශීය සිනමා වංශ කථාවට එක්වූ ඇය, සිය රංග විශිෂ්ටත්වය වෙනුවෙන් අවස්ථාවන් 04 කදී ‘හොඳම නිළිය’ සම්මානයෙන්ද (සරසවි, OCIC, ස්වර්ණ සංඛ), සිය ජනකාන්ත තරු ගුණය නිසාවෙන් ‘ජනප්‍රියම නිළිය’ හා ‘ජනප්‍රියම නවක නිළිය’ නිළිය ලෙසින් අවස්ථාවන් 04 කදීද (සරසවි) සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් වුවාය.

දිල්හානි අශෝකාමාලා
1990 වර්ෂයේ තිරගතවූ ‘දේදුන්නෙන් සමනළියක්’ සිනමාපටයෙන් දේශීය සිනමා වංශ කථාවට එක්වූ දිල්හානි අශෝකාමාලා , වසර 27 ක් සපුරාලූ සිය සිනමා රංගන ගමන්මගේදී, රංගනයේ යෙදුනා වූ සමස්ථ සිනමාපට සංඛ්‍යාව 90 කට ආසන්න වේ. රංගනයට අවතීර්ණ වූ මුල් යුගයේදී ජනප්‍රිය ධාරාවේ සිනමාපට තුලින් පමණක් ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තය තුල වෘත්තිය ස්ථාවරත්වයක් ගොඩනගා ගත් ඇය, පසු කාලීනව කලාත්මක ධාරාවේ සිනමාපට තුලින්ද එකී ස්ථාවරත්වය අත්පත් කරගැනීමට සමත්විය. ඒ අයුරින් තරු ගුණැති චරිතාංග නිළියක් ලෙසින් වත්මන් දේශීය සිනමා කර්මාන්තය තුල හැදින්වීමට බදුන්වන ඇය, සිය රංග කෞශල්‍ය තුල වූ ප්‍රබලත්වය හේතුවෙන් අවස්ථාවන් 05 කදී ‘හොඳම නිළිය’ සම්මානයෙන්ද (සරසවි, ජනාධිපති, සිග්නීස්, දෙරණ), ජන ආකර්ෂණය හේතුකොටගෙන අවස්ථාවන් ත්‍රිත්වයකදී ‘ජනප්‍රියම නිළිය’ සම්මානයෙන්ද (සරසවි, නවලිය, දෙරණ) පිදුම් ලැබීමට සමත් වුවාය.

සංගීතා වීරරත්න 
‘It’s a matter of time’ නම් වූ ඉංග්‍රීසි භාෂිත සිනමාපට හරහා 1991 වර්ෂයේදී දේශීය සිනමා වංශ කථාවට එක්වූ සංගීතා වීරරත්න, එලෙසින් අනූව දශකයේ දේශීය සිනමාවට අවතීර්ණ වූ රංගන ශිල්පිනියන් අතුරින් ආරම්භක අවධියේ පටන්ම ජනප්‍රිය සහ කලාත්මක යන සිනමා ධාරාවන් ද්විත්වය තුලම ඉහළම ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීමට සමත් වූ එකම නිළිය ලෙසින් සැලකේ. වසර 26 ක් වයසැති සිය සිනමා රංගන චාරිකාවේදී සිනමාපට 50 කට ආසන්න සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී ඇති ඇය, ඒ තුල මුදාහල අද්විතීය රංග ප්‍රතිභාව වෙනුවෙන් අවස්ථාවන් 04 කදී ‘හොඳම නිළිය’ සම්මානයෙන්ද (සරසවි, ස්වර්ණ සංඛ, විචාරක), එකී සිනමාපට හරහා ගොඩනගා ගත් අසීමිත ජනතා ආදරය නිසාවෙන් අවස්ථාවන් 07 කදී ‘ජනප්‍රියම නිළිය’ සම්මානයෙන්ද (සරසවි, නවලිය) පිදුම් ලැබීමට සමත් වුවාය.

සටහන , සංකල්පය සහ සම්බන්ධීකරණය: උදිත ලක්මාල් කහඳවආරච්චි. 
ඇදුම් නිර්මාණය- කුෂාන් නාමල් ජයසිංහ 
හැඩගැන්වීම: සමන්ත ගුණසේකර, අංජන පෙරේරා, තුෂාර සොයිසා, ධනංජය බණ්ඩාර, ශානක පෙරේරා, නෙලී ක්ලෙයාර් 
ජයාරූප: අරන්ත සිරිමාන්න
කවර අනුග්‍රහය - IN VOGUE

Powered by Blogger.