80 යි 20 මම 60 යි 40 කරනවා - මංගල.


දැනට පවතින බදු ආදායම, වක්‍ර බදු 80% ත් සෘජු බදු 20% වන ප්‍රතිශතය ඉදිරි වසර තුනක කාලය තුළදී වක්‍ර බදු 60% ත් සෘජු බදු 40% වන ලෙස වෙනස් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියි.

ඒ මහතා මේ බව කියා සිටියේ මුදල් අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් පසුව මුදල් අමාත්‍යාංශයේ අද( 21 දා) පැවති පළමු මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.

මෙය කාගේ හෝ අවශ්‍යතාවයකට සිදු කරන්නක් නොවන බවත් රටේ අවශ්‍යතාවයට අනුව සිදුවන්නක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේ මැලේසියාවේ වක්‍රබදු ආදායම 20% ක් හා සෘජු බදු ආදායම 80% ක් බවයි. එසේම ඉන්දියාවේ මෙම තත්වය 50%- 50% දක්වා පාලනය කර ගැනීමට හැකිවූ බව ඉන්දීය මුදල් අමාත්‍යවරයා කොරියානු සමුළුවකදී තමාට හමුවූ අවස්ථාවේ පැවසූ බවයි.

පසුගිය කාලය තුළ දී රජයේ වියදම් දිනෙන් දිනම වැඩිවූ බව පැවසූ ඒ මහතා උදාහරණයක් ලෙස 2005 දී රුපියල් බිලියන 345 ක්වූ වියදම 2014 වන විට රැපියල් බිලියන 1069 ක් වූ බවද කීය. වර්තමානයේ පවතින බදුක්‍රමය ඉතාමත් පීඩාකාරී අසාධාරණ බදු ක්‍රමයක් බවත් කලාපයේ රටවල් අතර මෙවැනි බරපතල තත්වයේ බදු ප්‍රතිපත්තියක් ඇත්තේ ලංකාවේ බවද ඒ මහතා කියා සිටියේය.

මසකට රු 15,000-20,000 අතර මුදලක් උපයන පුද්ගලයාද මසකට රුපියල් මිලියනයක් උපයන පුද්ගලයාද වැඩි වක්‍රබදු හේතුවෙන් එකම ආකාරයට වක්‍රබදු ගෙවීම ඉතාම අසාධාරණ බව හෙතෙම කියා සිටියේය.

මේ අනුව තමා අදාළ අමාත්‍යධුරයේ වැඩ භාර ගැනීමෙන් පසුගිය ජූලි 05 වන දා නව බදු පනතක් පාර්ලිමේන්තුවට සභාගත කළ බවත් නිශ්චිත කාලයක් තුළ පනතට විරෝධය දැක්වීමට ලැබෙන අවස්ථාව යටතේ මේ වන විට මෙයට ශ්‍රේෂ්ථාධිකරණයේ නඩු කිහිපයක් පවරා ඇති බවත් ශ්‍රේෂ්ථාධිකරණ නියමයන්ද සැලකිල්ලට ගනිමින් නව සංශෝධන ද ඇතුළත් කොට අගෝස්තු තුන්වන සතිය වන විට නව බදු පනත ඉදිරිපත් කරන බව  අමාත්‍යවරයා කියා සිටියේය.

මෙහදී අදහස් දැක්වූ මුදල් අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා කියා සිටියේ නව බදු පනත අනුව බදු ගෙවන අය ආරක්ෂා කිරීම මෙන්ම බදු ගෙවන ව්‍යාපාරිකයාට ස්තිර පසුබිමක් සකස්කර දෙන බවයි. ඉදිරියේදී පුද්ගලයාට අවශ්‍ය ලෙස බදු ගෙවීම තීරණය කළ නොහැකි බව ඒ මහතා අවධාරණය කළේය.

රාජපක්ෂ යුගය

රාජපක්ෂ යුගයේ ගත් ණය නිසා 2018/2019 වන විට රුපියල් ට්‍රිලියන 3.2 ක් ණය ලෙස ගෙවීමට සිදුව ඇතැයි ඒ මහතා මෙහිදී අවධාරණය කර සිටියේය.

මෙසේ ලබාගෙන ඇති ණය වලින් 70 % ක්ම ගෙවුණු රාජපක්ෂ යුගයේ ලබා ගත් ණය බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Share on Google Plus