නියෝජ්‍ය ඇමතිවරු 8ක් අද මහින්ද හමුවෙයි - ආණ්‌ඩුවේ මන්ත්‍රීන් 18 ක්‌ ඒකාබද්ධයට.


රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් 08 දෙනෙකු අද (07) හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඒ මහතාගේ නිවසේදී හමුවන බව මාධ්‍ය වාර්තා කර තිබේ.

මොවුන් හිටපු ජනපතිවරයා හමුවීමට පෙර පසුගිය 05 වැනිදා රාත්‍රියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්  අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුව ඇති බවද පැවසේ.

එම හමුවේදී තම අදහස් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දෙන්නැයි ඔවුන් අමරවීර මහතාගෙන් ඉල්ලා ඇති බවද වාර්තා වේ.

එහිදි ආණ්ඩු විරෝධය ගැනද ඔවුන් අදහස් දක්වා ඇති අතර තනි ආණ්ඩුවක් නොමැතිවීමෙන් ජනතාව දුක්විඳින බවද පෙන්වාදී තිබේ.

එම අවස්ථාවට අරුන්දික ප්‍රනාන්දු, ලක්ෂමන් වසන්ත පෙරේරා, ඉන්දික බණ්ඩාරනායක, නිමල් ලන්සා, ඩුලිප් විජේසේකර, සුසන්ත පුංචිනිලමේ හා සාරතී දුෂ්මන්ත ඇතුළු පිරිසක් එක්ව සිටි බවද පැවසේ.

එම රැස්වීමේදී ගත් තීන්දුවක් අනුව අද මහින්ද හමුවන බව පැවසෙතත් ඔවුන් එහිදී සාකච්ඡා කරන කාරුණු සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැත.

මේ අතර ප්‍රියංකර ජයරත්න, අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු ආණ්‌ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මැති ඇමැතිවරුන් 18 කට වැඩි පිරිසක්‌ ලබන සැප්තැම්බර් මස මැද භාගය වන විට ඒකාබද්ධ විපක්‍ෂයට එක්‌වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පැවැසීය.

මන්ත්‍රීවරයා එබව සඳහන් කර සිටියේ, බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන සම්බන්ධීකරණ කාර්යාලයේදී ඊයේ (6 දා) පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙම මන්ත්‍රීවරුන් තමන් හමු වී පුද්ගලිකව සාකච්ඡා කර තිබෙන බවත් සැප්තැම්බර් මැද වන විට එය බලාගත හැකි බවත් මේ පිළිබඳව මාධ්‍යවේදියකු කළ විමසුමකදී මන්ත්‍රීවරයා සඳහන් කළේය.

යහපාලන ආණ්‌ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මැති ඇමැතිවරුන් පමණක්‌ නොව අද වන විට කලකිරීමට පත්ව සිටින එක්‌සත් ජාතික පක්‍ෂයේ පසුපෙළ තරුණ මන්ත්‍රීවරුන් ඉතා කෙටි කාලයක්‌ තුළ තීන්දුවක්‌ ගැනීමට සූදානමින් සිsටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි පියල් නිෂාන්ත මහතා පැවැසීය.

යහපාලන ආණ්‌ඩුවට පාර්ලිමේන්තුව තුළ තිබෙන විරෝධය තව මාස දෙක තුනක්‌ යන විට තේරෙනු ඇතැයි ද හෙතෙම කීය.

Powered by Blogger.