පැහැරගන්න ගිය වෑන් එක මුදල් අමාත්‍යංශයේ නෙවෙයි පොලිසියේ. - Info Sri Lanka News | Sinhala

පැහැරගන්න ගිය වෑන් එක මුදල් අමාත්‍යංශයේ නෙවෙයි පොලිසියේ.


විද්වත් වෘත්තිකයන්ගේ මූලස්ථානයේ පැවති 'සයිටම්' විරෝධී වැඩ සටහනකට සම්බන්ධ වී පිටව යමින් සිටි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැර ගැනීමට උත්සාහ කළ සුදුවෑන් රථය මුදල් අමාත්‍යංශයට අයත් එකක් බවට පලව ඇති මාධ්‍ය වාර්තා අසත්‍ය බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මෙම සිද්ධියට අදාළව භාවිත කළා යැයි පැවසෙන අංක NA - 0410දරණ Hiace KDH වර්ගයේ වෑන් රථයක සේයාරුව ද එම මාධ්‍යවල පළ කර තිබූ බව එහි දැක්වේ

පසුගිය රජය සමයේ මෙවැනි වාහන, ආබාධිත රණවිරුවන්, ක්‍රීඩකයන් සේම ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලත් සමාගම්, හෝටල්, අනුමත රාජ්‍ය නොව සංවිධාන සහ සංචාරක, ප්‍රවාහන වැනි ආයතනවලට තීරුබදු රහිතව ආනයනය කිරීමට අවසර ලබා දී තිබූ බවත්, මෙම රථය ද එම පදනම යටතේ ආනයනය කර ඇති වාහනයක් බව තහවුරුව ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

මෙසේ තීරු බදු රහිතව ආනයනය කිරීමේ දී පනවා ඇති එකම කොන්දේසිය වන්නේ මුදල් අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව ඒවා අන්සතු කිරීම, අලෙවි කිරීම සහ බදු දීම කළ නොහැකිය යන්න පමණක් බවත් මුදල් අමාත්‍යංශය කියා සිටී.

ඒ අනුව එම රථය මුදල් අමාත්‍යාංශයට අයත් බව අගවමින් සමාජ ජාල වෙබ් අඩවිවල පළ වූ ප්‍රවෘත්තිය පදනම් විරහිත සහ සත්‍යයෙන් තොර බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

කෙසේවුද අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියේ අදාළ පැහැර ගැනීමේ තැත පොලිසියේ කිසියම් පිරිසක් විසින් සිදුකර ඇති බවයි.

එය රජය අපහසුතාවයට පත් කිරීමට සිදු කළ එකක් බවට ද සමරවීර මහතා චෝදනා කළේය.



Share on Google Plus