ඥාණසාර හිමිගේ හැසිරීම සුළුකොට තැකිය නොහැකියි - මහේස්ත්‍රාත්. - Info Sri Lanka News | Sinhala

ඥාණසාර හිමිගේ හැසිරීම සුළුකොට තැකිය නොහැකියි - මහේස්ත්‍රාත්.


ජංගම දුරකතනයක් නාදවුවත් ,ඈනුමක් ඇරියත් මිනිසුන් රිමාන්ඩ් කිරීමේ බලතල ඇති මහේස්ත්‍රාත් අධිකරණයක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කළ ප්‍රකාශ හා හැසිරීම් සුළු කොට තැකිය නොහැකි බව හෝමාගම හිටපු මහේස්ත්‍රාත් සහ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක ඊයේ (18) අභියාචනාධිකරණය හමුවෙහි පැවසීය.

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ කලහකාරී ලෙස හැසීරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා ලැබ සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රය විභාග කිරීම ආරම්භ කරමින් එහි පළමුවැනි සාක්කිකරු ලෙස සාක්කි දෙමින් දිසානායක මහතා මේ බව කියා සිටියේය.

අභියාචනාධිකරණය හමුවේ වැඩිදුරටත් සාක්කි දුන් මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා කියා සිටියේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කළ විට අධිකරණයට නියෝග දෙන ස්වරූපයෙන් කලහාකාරී ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවේ හැසිරුණේ යම් පූර්ව සූදානමකින් බව හැඟී ගිය බවයි.

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ කලහකාරී ලෙස හැසීරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා ලැබ සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රය විභාග කිරීම අභියාචනාධිකරණ සභාපති විනිසුරු එල්.ටී.බී දෙහිදෙණිය මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා හමුවේ සිදු කෙරිණි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතාගේ මෙහෙයවීමෙන් සාක්කි දුන් සාක්කිකාර මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මෙසේද කීය.

‘‘2006 ඔක්තෝබර් 06 වැනිදා සිට මා මහේස්ත්‍රාත් විනිසුරු සේවයට එක්වූවා. 2015 දී පුත්තලම දිසා විනිසුරු ලෙසත් , 2016 ජනවාරි 01 වැනිදා සිට මා හෝමාගම අතිරේක මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු ලෙස සේවය කළා. මාධ්‍යවේදියෙකු වන ප්‍රදීප් එක්නැලිගොඩ ගේ අතුරුදන්වීම සම්බන්ධ නඩුවක් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වුණා. එම නඩුව 2010 වසරේ සිට එම අධිකරණයේ විභාගවුණා. මා අතිරේක මහේස්ත්‍රාත් ලෙස හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ කටයුතු ආරම්භ කරන විටත් , එම නඩුවේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන ඔවුන් සම්බන්ධයෙන් යම් යම් නියෝග විවිධ අවස්ථාවල ලබා දී තිබුණා. ඒ අතරම එම නඩුවේ සැකකරුවන්ට ඇප ලබා දිය නොහැකි බවට පූර්වගාමී විනිසුරුතුමා නියෝගයක් නිකුත් කර තිබුණා. එම නඩුව සම්බන්ධ මෙහෙයවීම් සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ අධි නීතිඥ දිලීප පීරිස් මහතා පෙනී සිටි අතර ඇතැම් අවස්ථාවල රජයේ අධිනීතීඥ වසන්ත පෙරේරා මහතා පෙනී සිටියා.

2016 ජනවාරි 25 වැනිදා මෙම නඩුවට සම්බන්ධ විශේෂ දෙයක් සිදු වූවා.එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ අධිනීතීඥ දිලීප පීරිස් මහතා පෙනී සිටියා. එම අවස්ථාවේ සැකකරුවන් නමදෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටියා. එහිදී දෙපාර්ශ්වය වෙනුවෙන් කළ කරුනු දැක්වීම් පිටු 21 ක සඳහන්ව තිඛෙනවා. එය අධිකරණය වෙත යොමු කර ඇති අදාළ නඩු ගොනුවේ දැක්වෙනවා. එම කරුණු සැලකිල්ලට ගත් මා සැකකරුවන් හයදෙනෙකු තවදුරටත් රිමාන්ඩ් බාරයට පත් කිරීමට නියම කළා. සෙසු සැකකරුවන් නැවත රිමාන්ඩ් බාරයට පත් කළේ පසු දිනයේදීයි. ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු එම නඩුව අවසන් කළා.පසුව වෙනත් නඩුවක් අධිකරණය හමුවෙහි කැඳවනු ලැබුවා. ඒ වන විට නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයෙන් ඉවත් වෙමින් සිටියා.

ඊළඟ නඩුවේ විත්තිකරුවන් අධිකරණයට කැඳවනවාත් සමඟම විශේෂ දෙයක් සිදු වුනා. මට එය හොඳට මතකයි. ඒ වනවිට මා මහේස්ත්‍රාත්වරයෙකු ලෙස වසර 12 ක් සේවය කර තිඛෙනවා. ඒ කාලය තුළම මෙවැනි දෙයක් සිදුවී නැහැ. ඒ නිසාම මට එම සිදුවීම හොඳට මතකයි. ඒ වනවිට හෝමගාම මහේස්ත්‍රාත් අධිකරණය පවත්වා ගෙන ගියේ වෙනත් තාවකාලික ගොනැගිල්ලකයි. එය කුලියට මිලදී ගත් නිවසක සාලයක තමයි මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව පවත්වාගෙන ගියේ .ඊට හේතුවුනේ එම කාලයේ නව අධිකරණ පරිශ්‍රයක් ඉදිකරමින් පැවතීමයි. එය එතරම් විශාල ශාලාවක්ද නොවෙයි. එහි සැකකරුවන් රඳවා තබා ගැනීමට ,නීතීඥවරුන්ට අසුන් ගැනීමට ස්ථාන වෙන් කර තිබුණා. නඩුවට පැමිණි අයට අසුන් ගැනීමට තිබුනේ ආසන පේළි දෙකක් පමණයි. සෙසු ජනතාවට රැඳී සිටීමට ටකරන් මඩුවක් තිබුනා. විනිශ්චය ආසනය ඉදිරියේම විත්ති කූඩුව පැවතියා.

බී 7417/10 දරණ ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව විභාග වන අවස්ථාව වන විට සාමාන්‍ය මිනිසුන් අසුන් ගැනීමට තිබෙන සියලූ ආසන වල ස්වාමීන් වහන්සේලා අසුන් ගෙන තිබුණා. මෙම නඩුවේ හෝ ඊට පසු කැඳවූ නඩුවේ මෙම ස්වාමීන්වහන්සේලා විත්තිකරුවෙකු ලෙස නම් කර සිටියේ නැහැ. මෙම නඩුව අවසන් වන විටම අසුන් ගෙන සිටි ස්වාමීන්වහන්සේ නමක් විනිශ්චයාසනය දෙසට පැමිණ සිට ගත්තා. මාසිටි අසුන හා ස්වාමීන්වහන්සේ අතර දුර අඩි 15 ක් පමණ ඇති. අනික් නඩුව පටන් ගන්නවාත් සමගම ‘‘රණවිරුවන් හිරේ දමා තිබෙනවා .කොටි එළියට දමා තිබෙනවා. මේ සුද්දාගේ නීතිය අපි පිළි ගන්නේ නැහැ.‘‘ ලෙස කියමින් දේශන ස්වරූපයෙන් එම ස්වාමීන්වහන්සේ ප්‍රකාශ කර සිටියා. අධිකරණයේ අවසරයකින් තොරව කිසිවකුට එලෙස කතා කරන්න බැහැ. මා එකවරම විශ්මයට පත් වුණා. මා අධිකරණයේ භාෂා පරිවර්තකට කතා කර කීවා අධිකරණයේ හැසිරිය යුතු ආකාරය දන්වන ලෙසට. එය පැවසුවත් එම ස්වාමීන්වහන්සේ එය නොතකා දිගින් දිගටම අදහස් දක්වමින් සිටියා.

එම ස්වාමීන්වහසේ අත්අඩංගුවට ගන්නා ලෙස නීතීඥවරුන් ප්‍රකාශ කලා. එහෙත් මා කලබලයට පත්වූයේ නැහැ. දිගු වේලාවක් තිස්සේ භික්ෂූන් වහන්සේලා පිරිසක් අධිකරණයේ අසුන් ගෙන තිබීම සහ එම අධිකරනයේ විශේෂ ආරක්ෂාවක් නොතිබූ නිසා මට සිතුනා එම ස්වාමීන්වහන්සේලා පූර්ව සැලසුමකින් පැමිණ සිටින බව . ඔවුන් අධිකරණයට බාධා කිරීමේ අරමුණෙන් පැමිණි බවත් හැඟී ගියා.

එම ප්‍රකාශය කරනවිට එම ස්වාමීන්වහන්සේ අධිකරණයට අභියෝග කරන ආකාරයෙන් කතා කළා. එය බැගෑපත් ඉල්ලීමක් නොව. එය නියෝගයක් ස්වරූපයෙන් කළ ප්‍රකාශයක් බව හැඟී ගියා . එක්නැලිගොඩ නඩුව අවසන්ව විනාඩියක්වත් ඉක්මයාමට පෙර මෙම ප්‍රකාශය පටන් ගත්තා. එම නඩුවේ සැකකරුවන් යුද හමුදාවේ බුද්ධි අංශ නිලධාරීන් ලෙස කටයුතු කළ අයයි. රණවිරුවන් ලෙස එම ස්වාමීන් වහන්සේ අදහස් කළේ එම සැකකරුවන් බව මට හැඟී ගියා.

එවිටම රජයේ අධිනීතීඥවරයා සහ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතඥ උපුල් කුමරප්පෙරුම මහතා අධිකරණයට පැමිණියා.එවිට ස්වාමීන්වහන්සේ ගේ ස්වරය දැඩි වුනා.‘රජයේ නීතීඥවරුන්ගේ අදහස් අහන්න මට අවශ්‍ය නැහැ.ඔවුන් නීතිපතිගේ නපුංසකයින්‘ යැයි උන්වහන්සේ ප්‍රකාශ කළා. එම ප්‍රකාශයෙන් පසුව එම ස්වාමීන් වහන්සේ අනෙකුත් ස්වාමීන්වහන්සේලා සමඟ අධිකරණ ශාලාවෙන් ඉවත්ව ගියා.

මා ඉදිරියේ එලෙස හැසීරීමෙන් එම ස්වාමීන්වහන්සේ අධිකරණයේ බලයට අභියෝග කිරීමෙන් සහ රජයේ නීතීඥවරයාට තර්ජනාත්මක ස්වරූපයෙන් කතා කිරීමෙන් දඩුවම් ලැබිය යුතු වරදක් කළ බව හැඟී ගියා . ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ නීති ප්‍රකාරව මෙම ස්වාමීන් වහන්සේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට නියෝග කරනු ලැබුවා. එම ස්වාමීන්වහන්සේ මීට පෙර ජනාමාධ්‍ය මඟින් මා දැක තිඛෙනවා. එහෙත් එම ස්වාමීන්වහන්සේ හඳුනාගන්නා ලෙස මා අනෙක් නීතීඥවරුන් ගෙන් ඉල්ලීමක් කළා. එතැන සිටි නීතීඥ මහතෙකු වන උපාලි සේනාරත්න මහතා විසින් උන්වහන්සේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ලෙස හඳුන්වා දෙනු ලැබුවා.

ඒ වගේම එම ස්වාමීන්වහන්සේ මට හොඟින් හඳුනා ගත හැකියි. උන්වහන්සේ ශරීරය හොඳින් පවත්වා ගෙන යන ,කඩවසම් අයෙකු ලෙස හැඳින්විය හැකියි. මේවනවිටත් එම ස්වාමීන්වහන්සේ අධිකරණයේ පෙනී සිටිනවා.

මා හෝමාගම පොලීසියට කළ නියෝගය අනුව ජනවාරි 26 වැනිදා හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමා එම ස්වාමීන්වහන්සේ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. එම ස්වාමීන්වහන්සේට ඇප දීම ප්‍රතික්ෂේප කළ මා සැකකාර හිමිනම පෙබරවාරි 09 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස නියෝග කළා. පෙර දිනක එක්නැලිගොඩ නඩුව අවසානයේ අගතියට සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට යම් වචන ප්‍රකාශ කිරීමේ සිද්දියක් සම්බන්ධයෙන් එදිනම මෙම ස්වාමීන්වහන්සේ තවත් නඩුවකට ඉදිරිපත් කරනු ලැබුවා.

මෙලෙස අධිකරණයේ කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධ 40042/16 දරණ නඩුවේදී මෙම ස්වාමීන්වහන්සේට මවිසින් ඇප නියම කරනු ලැබුවා.ඊට පෙර මෙම ස්වාමීන්වහන්සේ පෞද්ගලිකවම මා ඉදිරියෙහි පෙනී සිටියේ නැහැ. එසේම මට උන්වහන්සේ සමඟ කිසිදු අමනාපයක් නැහැ. මේ සම්බන්ධයෙන් ඉදිරි පියවරක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) වගන්තිය යටතේ අධිකරණයට අපහාස කිරීමේ නඩු විමසීම සඳහා අභියාචනාධිකරණයට එය යොමු කිරීමට මා තීරණය කලා. එම ස්වාමීන් වහන්සේ කළ වරද ලඝු කළ නොහැකි බව මා තීරණය කළා. සමස්ත අධිකරණයට ගැරහීම ,අධිකරණයට බාධා කිරීම ,අධිකරනයේ කලහකාරී ලෙස හැසරීම සුළු වරදක් නොවන බව මා තීරණය කළා.

පුද්ගලයෙක් ඈනුමක් අරියත් ,ජංගම දුරකථනයක් නාද වූනත් ,සිර දඩුවම් නියම කරන අපේ අධිකරණයක ස්වමීන්වහන්සේ මෙලෙස අධිකරණයට බාධා කරමින් ,අභියෝග කරමින් කලහකාරී ලෙස හැසිරීම සුළු වරදක් නොවන බව මා තීරණය කළා. ඒ අනුව මා මෙම කරුණ එවකට අභියාචනාධිකරණ සභාපති විජිත් මළල්ගොඩ විනිසුරුතුමා වෙත ලිඛිත කරුණු සහිතව ලිපියක් මඟින් යොමු කළා.‘‘ යැයි හෝමාගම හිටපු මහේස්ත්‍රාත් සහ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා කීවේය.

ඒ සමඟම පැමිණිල්ලේ සාක්කි විමසීම නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා විසින් අවසන් කළේය.

මෙහිදී විත්තිකාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා ද මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ගෙන් හරස් ප්‍රශ්න විමසීමක් සිදු කළේය. එහිදී සාක්කිකාර මහේස්ත්‍රාත්වරයා මෙසේද පැවසීය.

‘‘මෙම නඩුව මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නැමැත්තෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධව පැවතුණා. ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියෙකු බව පොලීසිය මඟින් ඉදිරිපත් කළ බී වාර්තාවේ සඳහන් වූවා. 2016 ජනවාරි 25 දින විත්තිකාර හිමියන් ගේ හැසිරීම සම්බන්ධයෙන් සඳහන් කරමින් අභියාචනාධිකරණය සභාපති විනිසුරුතුමා වෙත ලිපියක් පසුව යොමු කළා. එම ලිපියේ සහ අදාළ සිදුවීම සිදුවූ දින අධිකරණ වාර්තාව අතර යම් යම් වෙනස්කම් තිබිය හැකියි. එවැනි ලිපියක් එවීම සිදු කළේ නැති නම් මෙවැනි අධිකරණයට අපහාස කිරීමේ නඩු කටයුත්තක් සිදු වන්නේ නැහැ.

එදින ස්වාමීන්වහන්සේ අධිකරණ ශාලාව තුළ බොහෝ දේ කිව්වා. ඒ අවස්ථාවේදී එම ප්‍රකාශ ලඝු ලේඛිකාවක් විසින් සටහන් කර ගත්තේ නැහැ. මගේ මතකයේ තිබූ කරුණු කිහිපයක් පමණයි එහි සටහන් කර ඇත්තේ. මේ සිද්ධිය සම්බන්ධ දිවුරුම් ප්‍රකාශ 12 ක් ලබා දී තිබෙනවා. අදාළ සිදුවීම වන විට අධිකරණ ශාලවේ රැඳී සිටි නීතීඥවරුන් ඒ වන විට ප්‍රකාශ කලා මෙම ස්වාමීන්වහන්සේ අත්අඩංගුවට ගන්නා ලෙස‘‘ යැයිද දිසානායක මහතා එම හරස් ප්‍රශ්න විමසීමේදී කියා සිටියේය.

මේ නඩුවේ සාක්කි විභාගය හෙටට (19) කල් තැබිණි.

තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ

Share on Google Plus