මේ සා විසල් රහස් කතාවක්? - Info Sri Lanka News | Sinhala

මේ සා විසල් රහස් කතාවක්?


ආණ්ඩුවෙන් ඉවත්වන බවට ප්‍රසිද්ධියේ පවසන නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ඇතුළු ආණ්ඩුවේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඊයේ (18) රාත්‍රී අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා හමුවී ඇතැයි වාර්තාවේ.

ඇමතිවරයාගේ නිල නිවසේ පැවති එම සාකච්ජාව පැය කිහිපයක් පැවති බවද පැවසේ.

මේ සම්බන්ධයෙන් අද උදැසන කල විමසීමකදී අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා එම පුවත සනාත කල අතර, අරුන්දික මන්ත්‍රීවරයා ආණ්ඩුවේ රඳවා ගැනීම සඳහා එකඟතාවයක් ඇතිකර ගැනීමට තමා උත්සහ කල බවද කීය.

කෙසේවුවද අරුන්දික ප්‍රනාන්දු මහතා පවසන්නේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කර ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටවිය යුතු බවයි.

මහින්දත් එක්ක හදන අලුත් ආණ්ඩුව???

මේ අතර, යහපාලන ආණ්ඩුවෙන් ඉවත් වන බවට ඉකුත් දා මාධ්‍ය වාර්තා පළ කර තිබූ නියෝජ්‍ය අමාත්‍යවරු අතර සිටි තිදෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකට සහභාගිවෙමින්, ගිවිසුම් කාලය අවසන වනතුරු ආණ්ඩුවෙන් ඉවත් නොවන බව අවධාරණය කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික බණ්ඩාරනායක, තාරානාත් බස්නායක සහ සුමේධා ජී ජයසේන මෙම මාධ්‍ය හමුවට සහභාගි වුහ.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට පක්ෂයේ බොහෝ පිරිස් තවමත් ආදරයෙන් සිටින බවත් නායකයින් දෙදෙනාගේම එකතුවෙන් අනාගතයේ දී නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහි කරන බවත් නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී ජයසේන මහත්මිය මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළාය.

දෙකඩ වීමේ වාසිය එජාපයට :

මෙම මාධ්‍ය හමුවට අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ද එක්ව සිටි අතර එහිදී ඔහු සඳහන් කළේ, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ද දැන් සිදු කළ යුත්තේ වෙනත් පක්ෂ හදනවා වෙනුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහයෝගය ලබාදීම බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වීමේ වාසිය එක්සත් ජාතික පක්ෂයට බව ද අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මෙහි දී වැඩිදුරටත් කියා සිටියේය.

Share on Google Plus