බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් වැඩි වාසි පාලක පක්ෂයට?


බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් පාලක කන්සර්වේටිව් පක්ෂයට ජයග්‍රහණය හිමිවනු ඇති බවත්, එනමුදු ඔවුන් පැහැදිලි බහුතරයක් නොලබනු ඇති බවද මැතිවරණ ප්‍රතිඵල පුරෝකථනයන් පෙන්වා දෙයි.

ඊයේ දිනය පුරා පැවති බ්‍රිතාන්‍ය මහ මැතිවරණය සඳහා මිලියන ගණනක ඡන්ද දායකයන් පිරිසක් ඡන්දය ප්‍රකාශ කළ අතර, ඊයේ රාත්‍රී 10.00 ට ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් විය.

මහා බ්‍රිතාන්‍ය පුරා ඡන්ද මධ්‍යස්ථාන මූලික කර ගනිමින් සිදුකළ නිරීක්ෂණයන්ට අනුව කන්සර්වේටිව් පක්ෂයට මන්ත්‍රී ආසන 314ක් දිනාගැනීමට හැකි වනු ඇති බව සඳහන් විය.

එහිදී, කම්කරු පක්ෂයට මන්ත්‍රී ආසන 266ක්ද, ලිබ් ඩෙම්ස් 14ක්ද, එස්.එන්.පී. 34ක්ද, යූකිප් වෙත එකදු ආසනයක්වත් හිමි නොවනු ඇති බවද බොහෝ මැතිවරණ පුරෝකථන සඳහන් කර තිබුණි.

මේ ආකාරයෙන් ඡන්ද විමසීම අවසානයේ සිදුවූ පුරෝකථන ප්‍රකාශයට පත්වීමත් සමග බ්‍රිතාන්‍යයේ ස්ටර්ලිං පවුම ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව විශාල පසුබෑමක් පෙන්වූ බවද විදෙස් වාර්තා පවසයි.

මේ අතර, කන්සර්වේටිව් පක්ෂයේ කෘතහස්ත දේශපාලඥයෙකු වූ කෙන් ක්ලාක් පවසා සිටියේ සමස්ත ඡන්ද ගණන් කර අවසන් වනවිට තම පක්ෂයට පැහැදිලි බහුතරයක් නැතත්, බහුතරය දිනාගැනීමට හැකි වනු ඇති බවයි.

බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය බ්‍රිතාන්‍ය වේලාවෙන් අද (09දා) දහවල් වනවිට ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

මෙවර මැතිවරණය සඳහා බ්‍රිතාන්‍ය මන්ත්‍රී ආසන 650කට තරග වදින අතර, මිලියන 45.8ක ජනතාවක් ඡන්දය සඳහා ලියාපදිංචිව සිටියහ.

එමෙන්ම, බ්‍රිතාන්‍ය පුරා ඇති වී තිබෙන ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත අවදානමද මෙවර බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට ප්‍රබල සාධයක් වී ඇති අතර, මේ තත්ත්වය තුළ මැතිවරණය පැවැත්වූ ඊයේ දිනය පුරා ආරක්ෂාව තර කර තිබූ බවද විදෙස් වාර්තා පවසයි.

Powered by Blogger.