සුවසිරිපායේ සිසු ආක්‍රමණය.


සෞඛ්‍ය අමාත්‍යාංශයේ සුවසිරිපාය ගොඩනැඟිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වී පැය තුනකට ආසන්න කාලයක් එහි රැඳී සිටි විශ්වවිද්‍යාල සිසුන් එම ගොඩනැඟිල්ලෙන් ඉවත් කිරීම සඳහා ආරක්ෂක අංශ දැරූ උත්සාහයේදී සිසුන් සහ ආරක්ෂක අංශ අතර ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් සිසුන් 85 දෙනකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරියකු සහ පොලිස් නිලධාරීන් පස් දෙනකු, තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට ඇත.

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් කළ විමසීමකදී මේ ගැටුම අතර තුවාල ලැබූ සිසුන් 85 දෙනකු ජාතික රෝහලට ඇතුළත් කළ බවත් ඉන් 50 දෙනකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් පැවැසීය. තුවාල ලැබූ පොලිස් නිලධාරීන් 5 දෙනකු මෙන්ම හෘදයාබාධයකට ගොදුරු වූ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරියකු හෘද රෝග ඒකකයේද ප්‍රතිකාර ලබන බව ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී ඊයේ (21දා) සිසුන් සහ ආරක්ෂක අංශ අතර ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයේදී සිසුන් අමාත්‍යාංශ පරිශ්‍රයෙන් පිටතට පලවා හැරීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්, පොලිස් නිලධාරීන් හා කැරලි මර්දන නිලධාරීහු එක්ව බැටන් පොලු ප්‍රහාර එල්ල කළහ. විශ්වවිද්‍යාල සිසුහුද පොලිසිය දෙසට ගල් මුල් සහ පොලු කැබලි විසිකරමින් උණුසුම්ව වචන හුවමාරු කරගත්හ. අමාත්‍යාංශයෙන් පිටතට එළවා දැමුණු සිසුන් විසිරුවා හැරීම සඳහා කඳුළු ගෑස් සහ අධි පීඩක ජල ප්‍රහාරද එල්ල කෙරිණි. අමාත්‍යාංශ පරිශ්‍රයෙන් සිසුන් පිටතට එළවා දැමීමට ආරක්ෂක අංශ ගත් උත්සාහයේදී සුවසිරිපාය ගොඩනැඟිල්ලේ ජනෙල් කිහිපයක්ද බිඳී ගිය අතර පිළිගැනීමේ නිලධාරී රැඳී සිටින කොටසේ මේසයක වීදුරුව බිඳී ගොස් තිබූ අතර ගොඩනැඟිල්ලේ මහල් වසා දැමීම සඳහා යොදා ගත් යකඩ ගේට්ටු කිහිපයක්ද සිසුහු කඩා දැමූහ.

ඊයේ (බදාදා) දිනය සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන දිනය ලෙස වෙන් කොට තිබූ අතර ඒ මුවාවෙන් විශ්වවිද්‍යාල සිසුන්ද කුඩා කණ්ඩායම් ලෙස පෙරවරුවේ සිට අමාත්‍යාංශ පරිශ්‍රයට ඇතුළු වී රැඳී සිට ඇත. සවස 2 පමණ වන විට කුඩා කණ්ඩායම් ලෙස අමාත්‍යාංශ පරිශ්‍රයේ රැස්ව සිටි සිසුන් සුවසිරිපාය ගොඩනැඟිල්ල වැටලීමට පටන් ගන්නා විටම දවටගහ මුස්ලිම් පල්ලිය දෙසින් විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් පාගමනින් සෞඛ්‍ය අමාත්‍යාංශය දෙසට පැමිණියහ.

පාගමනින් පැමිණි සිසුන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුළු වීමට දැරූ උත්සාහයේදී ආරක්ෂක අංශ හා සිසුන් අතර උණුසුම් වචන හුවමාරුවක්ද ඇතිවූ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන පිවිසුමේ වම් පස කොටස වැරෙන් තල්ලු කොට ගලවා දමමින් සිසුහු සියලු දෙනා අමාත්‍යාංශ පරිශ්‍රයේ ඒ වන විටත් විරෝධතාවේ යෙදී සිටි අනෙක් සිසුන් හා එක් වූහ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිවුමහල් ගොඩනැඟිල්ලක් වූ සුවසිරිපාය ගොඩනැඟිල්ලේ ජනෙල්වලින් පිටතට පෙනන සේ විරෝධතා පුවරු රැඳවූහ. සිවු වැනි මහලේ සුවසිරිපාය යන්න සඳහන් අකුරු පුවරුව වැසී යන සේ "නිදහස් අධ්‍යාපනයත් සෞඛ්‍යත් වනසන සයිටම් හොර උපාධි කඩය අහෝසි කරනු" යන්න ලියූ රතු පැහැති විශාල බැනරයක්ද රැඳවූහ. ගොඩනැඟිල්ලේ තැනින් තැන විරෝධතා පුවරු රැඳවූහ. එහි බිත්තිවල 'ව්ර්ණී ඉධ්ඊඒර්' යන්න සටහන් යෙදූහ. අමාත්‍යාංශ පරිශ්‍රයේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ රුව රැගත් බැනර් කිහිපයක්ද සිසුහු එක්ව පුලුස්සා දැමූහ. මේ හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දෛනික වැඩකටයුතුවලට බාධා සිදුව තිබූ අතර කාර්යාල වේලාව නිම වීමටත් ප්‍රථම සවස 3.15 වන විට සේවක සේවිකාවන් සිය සේවා නිමවා නිවෙස් බලා යනු දක්නට ලැබිණි. සිසුහු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ගේට්ටු දෙකම අවහිර කරමින් රැඳී සිටි අතර පා ගමනින් පැමිණි සෞඛ්‍ය අමාත්‍යාංශ සේවක සේවිකාවන්ට අමාත්‍යාංශ පරිශ්‍රයෙන් පිටතට යෑමට ඉඩ සැලසුණද එම පරිශ්‍රයේ නවතා තිබූ වාහන කිසිවක් ඉන් පිටතට රැගෙන යෑමට ඉඩක් නොලැබිණි. පැය තුනකට ආසන්න කාලයක් සුවසිරිපාය ගොඩනැඟිල්ලේ ඇතුළත සහ අමාත්‍යාංශ පරිශ්‍රයේ රැඳී සිටි සිසුන් ඉන් පිටතට එළවා දැමීමට පටන් ගැනුණේ ගොඩනැඟිල්ලේ තුන්වැනි සහ සිවුවැනි මහලේ සිටය. පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් බැටන් පොලු ප්‍රහාර එල්ල කරමින් සිසුන් එළවා දැමීමට උත්සාහ කරන විට සිසුහුද පෙරළා ගල්මුල් ප්‍රහාර එල්ල කළහ.

අමාත්‍යාංශ පරිශ්‍රයෙන් පිටතට පැමිණි විශ්වවිද්‍යාල සිසුන්ගේ පාවහන් අමාත්‍යාංශ සේවකයන් එක්රැස් කොට අමාත්‍යාංශයේ පිටත ගොඩගසා තිබිණි. විරෝධතාකරුවන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළු වෙතැයි සැක කරමින් කල් වේලා සහිතව එහි ප්‍රවේශ මාර්ග පොලිස් මාර්ග බාධක යොදා අවහිර කොට තිබිණි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව එක්ව සයිටම් අහෝසි කරන ලෙස බලකරමින් මේ විරෝධතාව සංවිධානය කොට තිබිණි.

Powered by Blogger.