Ads Top

Ray Ad

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්න කැබිනට් අනුමැතිය.


සයිටම් ආයතනය ආදායම් උපයන්නේ නැති පුණ්‍යායතනයක්, භාරකාර මණ්ඩලයක් යටතේ පාලනය වන ආයතනයක් හෝ කොටස් වෙළෙඳ පොළේ ලියාපදිංචි කළ ආයතනයක් යන ක්‍රම තුනෙන් එක් ක්‍රමයකට ඉදිරියට පවත්වාගෙන යෑමට රජය තීරණය කර ඇතැයි අමාත්‍ය කබීර් හෂීම් මහතා ප්‍රකාශ කරයි. ඒ පිළිබඳව සියලු පාර්ශ්වයන් එක්වී ඉදිරියේදී තීරණයක් ගන්නා බවද හෙතෙම පවසයි.

මේ නිසා මෙරට නිදහස් අධ්‍යාපනයට කිසිදු බලපෑමක් ඇතිවීමට ඉඩ නොතබන බව අවධාරණය කරන අමාත්‍යවරයා වාර්ෂිකව වෛද්‍යපීඨවලට ඇතුළත් වන ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීම මෙන්ම මොරටුව, රුහුණු, වයඹ සබරගමුව විශ්වවිද්‍යාලවල අලුතෙන් වෛද්‍ය පීඨ අරඹා තවත් සැලකිය යුතු සිසුන් පිරිසකට වෛද්‍ය පිඨවලට ඇතුළත්වීමට රජය අවස්ථාව සලසා ඇතැයිද සඳහන් කරයි.

එජාපයේ හා ශ්‍රී ලනිපයේ මහලේකම්වරුන් වන කබීර් හෂීම් සහ දුමින්ද දිසානායක යන අමාත්‍යවරුන් ඊයේ (27දා) සවස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී මෙම අදහස් ප්‍රකාශ කළ කබීර් හෂීම් අමාත්‍යවරයා, සයිටම් ආයතනය ශික්ෂණ රෝහලක් ලෙස යොදා ගැනීම සඳහා නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ කැබිනට් පත්‍රිකාවට ඊයේ අනුමැතිය ලද බවද පැවසුවේය.

2009 දී සයිටම් ආයතනය ආරම්භ කරන විට එහි සිසුන් ඇතුළත් කරගන්නා ක්‍රමවේදය, ප්‍රමිතිය, සායනික පුහුණුව හෝ වෙනත් අඩුපාඩු පිළිබඳව අද ඊට එරෙහිව හඬ නඟන රජයේ වෛද්‍ය සංගමය හෝ විශ්වවිද්‍යාල සිසුන් හෝ වෙනත් කිසිවෙක් විරෝධය පළ නොකළ බව පෙන්වා දුන් හෂීම් අමාත්‍යවරයා 2015 ජනවාරි 8දා බලයට පත් වත්මන් රජයට එදා සිට මේ දක්වා එම ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවූ බවද පැවසුවේය.

මේ වන විට වෛද්‍යවරු 6000කගේ හිඟයක් පවතින බවත්, වෛද්‍ය සභාව විදේශ විශ්වවිද්‍යාල 232ක් මේ වන විට පිළිගෙන ඇති නිසා අපේ දරුවන්ට විදේශවලට ගොස් උපාධිය ලබා ගන්නවාට වඩා මේ රටේදීම එය ලබාගන්නට අවස්ථාව සැලසීම වඩාත් උචිත බවද හෙතෙම සඳහන් කළේය. රජයේ වෛද්‍ය සංගමයේ ඉල්ලීම පාදක කරගෙන අවශ්‍ය විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රමුඛ රජය පියවර ගෙන ඇති බැවින් අදාළ පාර්ශ්වකරුවන්ට රජය සමඟ සාකච්ඡා මාර්ගයෙන් තවදුරටත් විසඳුම් ලබා ගැනීමේ ඉඩ ප්‍රස්තාව ඇති බවද පැවසුවේය. අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අදහස් දක්වමින් වෛද්‍ය, නීති, ඉන්ජිනේරු හෝ කවර හෝ පීඨයක් ආරම්භ කිරීමේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිර්ණායකයන්ගෙන් බැහැරව රජය කටයුතු නොකරන බවත් තවදුරටත් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය හෝ අදාළ පාර්ශ්වයන් අගතිගාමි ක්‍රියාමාර්ගයකට යෑමෙන් වැළකී ජනතාව පීඩාවට පත් නොකරනු ඇතැයිද පැවැසුවේය. මෙය පිටුපස සිටින්නේ දේශපාලන කණ්ඩායමක් බවත්, දේශනවලට යෑමට නොදී සිසුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට යම් පාර්ශ්වයක් උත්සාහ දරන්නේ නම් ඒ සම්බන්ධයෙන්ද තීරණයක් ගැනීමට සිදුවන බවත් හෙතෙම පැවැසුවේය.

Powered by Blogger.