වැඩ බලන යුද හමුදාපති මහේෂ් සේනානායක.


ශ්‍රී ලංකා යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක වැඩබලන යුද හමුදාපතිවරයා ලෙස පත් කරනු ඇති බවට වාර්තා පළවෙයි.

ඒ යුධ හමුදාපති ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කිරීමත් සමගයි.

මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා 1981.10.16 වනදා බඳවාගැනීම් පාඨමාලා අංක 16 යටතේ කැඩෙට් නිළධාරියකු ලෙස යුධ හමුදාවට එක්වූ අයෙකි.

1983.06.23 වනදා එම පාඨමාලාවේ සෑම අතින්ම අති ශූර කැඩෙට් නිළධාරියාට හිමි ශුරතාව දිනා ගනිමින් දෙවන ලුතිනන්වරයකු ලෙස අධිකාරියට පත්වී යුද හමුදා ඉංජිනේරු රෙජිමේන්තුවේ නිලධාරියකු ලෙස හමුදා සේවයට එක්වූ ඔහු ඉන් පසුව යුද හමුදා විශේෂ බළකායට එක්විය.

මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක විශේෂ බළකා නිළධාරියකු ලෙස උතුරු නැගෙනහිර ක්‍රියාන්විත රාජකාරියෙහි නිරත වූ අතර එම බළකායේ බළඇණි අණදෙන නිළධාරි,විශේෂ බළකා බළසේනාධිපති ලෙසද කටයුතු කළේය.

ඔහු වත්මන් විශේෂ බළකා රෙජිමේන්තු අධිපති ධුරය ද උසුලන අතර මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක දියණියන් දෙදෙනෙකුගේ සහ එක් පුතෙකුගේ පියෙකි. 

Powered by Blogger.