ලංකාවට පොඩි වූ මහේල ඉන්දියාවට ලොකු වෙයිද?


හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන ඉන්දියානු කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස තෝරාගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වේ. හිටපු පුහුණුකරු අනිල් කුම්බ්ලේ හදිසියේ තනතුරින් අස්වීමත් සමග ඉන්දියානු ක්‍රිකට් ආයතනය නව පුහුණුකරුවෙකු සොයාගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබේ.

මෙරට ක්‍රිකට් පුහුණුකරු ලෙස කටයුතු කළ ග්‍රෙහැම් ෆෝර්ඩ් මහතා ඉල්ලා අස්වීමත් සමග අදාල තනතුර සඳහා සුදුසුම පුද්ගලයා මහේල ජයවර්ධන බවට මතයක් සමාජය තුළ තහවුරු විය. නොනිළ වශයෙන් වාර්තා වූයේ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මහේල ජයවර්ධන සමග සාකච්ඡා පවත්වමින් සිටින බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුර භාරගැනීමට තරම් මහේල මුහුකුරා ගොස් නොමැති බවයි. ඒ අනුව ශ්‍රී ලංකා පුහුණුකරු තනතුර සඳහා මේ වනවිටත් නිශ්චිත පුද්ගලයෙකු තෝරාගෙන නොමැති අතර ඒ සඳහා පුද්ගලයෙකු තෝරාගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ප්‍රමාණවත් උත්සාහයක් ගන්නා බවක් තවමත් නොපෙනේ.

එසේ තිබියදී ශ්‍රී ලංකාව සතු සම්පත් වෙනත් රටවල් විසින් ප්‍රයෝජනයට ගන්නා ආකාරය බලා සිටින්නට අපට සිදුව තිබේ. ඉන්දියාව මේ වනවිට කිහිප දෙනෙකු සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති අතර ඒ අතරින් මහේල සහ ටොම් මූඩි ඉදිරියෙන්ම සිටින බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ඊයේ (25) ප්‍රකාශ කළේ පුද්ගලයන් තිදෙනෙකු සමගින් මේ වනවිට සාකච්ඡා පවත්වමින් සිටින බවයි. එහෙත් එම පුද්ගලයන් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර නැහැ.

කෙසේ හෝ මහේල ඉන්දීය පුහුණුකරු ලෙස පත්වුවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැඩි විරෝධයක් එල්ල විය හැකිය. මන්ද මහේල පුහුණුකරු ලෙස පත්කරගන්නා ලෙසට සමාජ මතයක් නිර්මාණය වී තිබියදී ක්‍රිකට් ආයතනය ඒ සම්බන්ධයෙන් දැක්වූ නොසැලකිලිමත්භාවය නිසාය.

දැන් පෙනීයන්නේ තිලංගලාට පොඩි වූ, නොවටිනා වූ මහේල ඉන්දියාවට වටිනාම පුද්ගලයෙකු බවට පත්වී ඇති බවයි.

Powered by Blogger.