සැලසිනේ, ITN, ගුවන් විදුලි, ලේක් හවුස්, සංචාරක ඉහළ පුටු වෙනසක්


සැලසිනේ රූපවාහිනී ආයතනයේ සභාපති වරයා ලෙස ශාන්ත බණ්ඩාර ජයවර්ධන මහතා පත්කර තිබේ.

ඒ මහතා සිය පත්වීම අද (21) පෙරවරුවේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් ලබාගෙන තිබේ.

බණ්ඩාර මහතා  ජාතික තරුණසේවා සභාවේ නිස්කෝ වීඩියෝ ආයතනයෙන් රූපවාහිනී මාධ්‍ය හදාරා ඇති අතර ටෙලිසිනේ ආයතනයේ ආචාර්‍ය ඩී.බී නිහාල් සිංහ මහතා යටතේ රූපවාහිනී මාධ්‍ය කේෂත්‍රයට අවතීර්ණ වී තිබේ.

ස්වාධීන රූපවාහිනියේ නිෂ්පාදකවරයෙකු වශයෙන්ද සිරස රූපවාහිනී ආයතනයේ ආරම්භක සාමාජිකයෙකු ලෙස රස රිසි ගී හා අපි නොදන්න ලයිව් වැනි වැඩසටහන් හී නිෂ්පාදකවරයා ලෙස කටයුතු කළ ඒ මහතා ඉන්පසුව වෙළද දැන්වීම් ක්ෂේත්‍රයේ කටයුතු කළේය.

ශාන්ත බණ්ඩාර මහතා රූපවාහිනී වාර්තා වැඩසටහන් 100කට පමණද, වෙළද දැන්වීම් 100ට හා ගීත රූප රචනා 200කට වැඩි ප්‍රමාණයක් කර ඇති අතර මව්බිම පුවත්පතේ හද ගැස්ම අතිරේකයේ හා සත්හඩ පුවත්පතේ කැදැල්ල අතිරේකයේ නිර්මාතෘවරයාද වන්නේය.

ඒ මහතා ප්‍රසන්න විතානගේ මහතා විසින් අධ්‍යක්ෂණය කළ පුරහද කළුවර චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂකවරයාද වේ.

ඔහු විද්‍යාවේදී උපාධිරියෙකු හා ජන සන්නිවේදන ඩිප්ලෝමාධාරියෙකු වන අතර මේ වන විට හොරණ ශ්‍රීපාලි විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කරයි.

ශාන්ත බණ්ඩාර මහතා පත් කළ පුවත සැලවීමත් සමඟ සැලසිනේ හිටපු සභාපතිවරයාගේ කාමරය එහි සේවකයින් විසින් වටලා ඇතැයි වාර්තා වේ.

ITN රූපවාහිනියට කැටිපේ - ගුවන්විදුලියට ධනුෂ්ක

විමල් කැටිපෙආරච්චි මහතා ස්වාධීන රූපවාහිනියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙසත්, එහි හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ ධනුෂ්ක රාමනායක මහතා ගුවන් විදුලියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙසත් පත්කර තිබේ.

කැටිපේආරච්චි මහතා, “රටකකට ඕනෑ අපමන අගයක් - හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්” යන ගීතයේ පද රචකයාද වේ.

ඒ මහතා මාධ්‍යවේදීයකු, සමාජ දේශපාලන ක්‍රියාකාරියකු හා සාහිත්‍යවේදීයකු ලෙසද කටයුතු කරන්නෙකි.

ඔහු ස්වර්ණවාහිනියේ සහාය නිෂ්පාදකයකු, රන්ගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ප්‍රවෘත්ති සංස්කාරවරයකු ලෙස මෙන්ම ශ්‍රී fm හි නිවේදක සහ නිෂ්පාදකයකු ලෙස ද කටයුතු කර ඇත.

ස්වාධීන රූපවාහිනියේ “සත්‍යාගාරය” වැඩසටහනේ රචකයා මෙන්ම එහි සංකල්පනාවද ඔහු සතු එකක් වන අතර නිදහස් මාධ්‍යවේදියකු ලෙස හිරු ටීවී හි “සලකුණ” වැඩසටහන ද මෙහෙයවනු ලබයි.

`ලංකා` ඉරිදා සංග්‍රහයේ හා `ජනරළ` ඉරිදා සංග්‍රහයේ දේශපාලන කර්තෘවරයා ලෙස ද වර්තමානයේ `සත්හඬ` සතිඅන්ත පුවත්පතේ විශේෂාංග කර්තෘවරයා ලෙසද කටයුතු කරනු ලබයි.

ලේක්හවුස් සභාපති ක්‍රිෂාන්ත

ලේක් හවුස් ආයතනයේ නව සභාපති ලෙස ක්‍රිෂාන්ත කුරේ මහතා ජුලි 1 දා සිට පත්වීමට නියමිත බව අද පුවත්පත වාර්තා කර තිබේ.

හිටපු සභාපති කාවන් රත්නායක මහතා ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සභාපති ලෙස පත් කර ඇත.

Powered by Blogger.