රහස් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ගෝඨා නිරුත්තර වේ.


පසුගිය සිකුරාදා (2) රහස් පොලිසියේ කැඳවීමට අනුව එහි මූලස්ථානය වෙත පැමිණි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය නන්දසේන රාජපක්ෂ මහතා රහස් පොලිසියේ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ නිරුත්තරව සිටි බව රහස් පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.

රහස් පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න හමුවේ සුපුරුදු පරිදි කෝපයෙන් කටයුතු කර ඇති හිටපු ආරක්ෂක ලේකම්වරයාට රහස් පොලිසියේ ඉහළ නිලධාරියෙකු පවසා ඇත්තේ ‘සර් ... කරුණාකරලා කෑ කෝ ගහන්නැතුව අහනදේට හොඳින් පිලිතුරු දෙන්න. මේ ඔෆිසර්ස්ලා කරන්නෙ රාජකාරියක්. ඔබතුමා ඒ අයත් එක්ක කෝපරේට් කරන්න' කියාය.

පමණක් රහස් පොලිස් ප්‍රශ්න හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා විනාඩි 20 කට ආසන්න කාලයක් නිහඬව කල්පනා කරමින් සිට ඇත. ඔහුගේ කල්පනාවට බාධා නොකොට ඕනෑ තරම් කාලය ලබා ගැනීමට ගෝඨාභයට ඉඩ දී රහස් පොලිස් නිලධාරීන් ඉතා සෙමෙන් ප්‍රශ්න කිරීම් කර තිබේ.  උත්තර බැඳීම ඉතා මන්දගාමී ස්වරූපයෙන් සිදුවූ බැවින් තවත් දිනයකට ප්‍රශ්න කිරීම් කල්තබා ඇත.

ගෝඨාට රහස් පොලිසියේ නවතින්න වෙයිද?

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් තවත් සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට රහස් පොලිසිය සූදානමින් සිටී. එම සිද්ධීන් අතර ප්‍රගීත් එක්ණැලිගොඩ අතුරුදන්වීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, උපාලි තෙන්නකෝන්ට පහරදීම, නාමල් පෙරේරාට පහරදීම වැනි සිද්ධීන් ප්‍රධාන වේ.

තමා තනතුරේ සිටිනා තාක් හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදෙමියි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළ ද ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත්තේ ඕනෑම අයෙකු තරාතිරම නොබලා කැඳවා ප්‍රශ්න කරන ලෙසත් ඔවුන් අතින් යම් වරදක් සිදුවී ඇත්නම් ඒ සඳහා නිසි දඬුවම් ලබා දෙන ලෙසත්ය.

ඒ අනුව ඉතාම ආන්දෝලනාත්මක අත්අඩංගුවට ගැනීම් කීපයක් නුදුරේදීම බලාපොරොත්තු විය හැකි බව ඉහත කී ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී. 

Powered by Blogger.