ඥානසාර හිමිට ඇප ලැබීම පිටුපස අදිසි හස්තයක්?


දිගින් දිගටම අධිකරණය මගහරිමින් සිටි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇපමත නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා අද (21) නියෝග කළේය. ඒ ඥානසාර හිමි සිය නීතිඥයන් මාර්ගයෙන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාරවූ අවස්ථාවේදීය.

අධිකරණය ඉදිරියේ විභාගවෙමින් තිබෙන නඩු දෙකක් සඳහා විත්තිකාර ඥානසාර හිමි අධිකරණය ඉදිරියේ පෙනී නොසිටීම හේතුවෙන් දෙවරක් වරෙන්තු නිකුත් කළ අතර එසේ අධිකරණය මගහරිමින් සිටි පුද්ගලයෙකු ඇපමත නිදහස් කරන්නේ කෙසේද යන්න පිළිබඳව නීතිවේදීන් තුළ සැකයක් පවතී.

ඥානසාර හිමි සැඟවී සිටියදී ඔහුව ආරක්ෂා කරන බවට විවිධ පාර්ශ්වවලට චෝදනා එල්ල වූ අතර එහිදී ප්‍රබල ඇමතිවරුන් කිහිපදෙනෙකුට ඇඟිල්ල දිගුවිය. ඒ අනුව එවැනි අමාත්‍යවරයෙකුගේ බලපෑම මත ඥානසාර හිමිට ඇප ලැබුණේද යන්න පිළිබඳව සැකයක් පවතී. ඊට අමතරව දෙවරක් වරෙන්තු නිකුත් කර තිබියදීත් ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය අසමත් වූ අතර පොලිස්පතිවරයා රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු සමග පවසා ඇත්තේ රජයට සම්බන්ධ ප්‍රබල දේශපාලනඥයෙකුගේ රැකවරණය යටතේ ඥානසාර හිමි සිටින බැවින් ඔහුව අත්අඩංගුවට ගැනීමේ අපහසුවක් තිබෙන බවයි.

කෙසේ වෙතත් ඇප මත නිදහස් වූ ඥානසාර හිමි පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර යළිත් කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර නැවත ඇප ලබා දී තිබේ. ප්‍රකාශයක් ලබාගැනීමට පොලීසිය වෙත පැමිණි අවස්ථාවේදී සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Powered by Blogger.