පෝර්ට් සිටියෙන් ඇල්ලේ ගුණවංශ හිමිට ලක්ෂ 50 ක්?


සිංහල බෞද්ධ චිරස්තිථිය උදෙසා මාහැඟි මෙහෙවරක් ඉටුකරන ශ්‍රී ලංකාවේ සුප්‍රකට යතිවරයෙකු වන ඇල්ලේ ගුණවංශ හිමියන්ට කලම්බු පෝර්ට් සිටි ව්‍යාපෘතියෙන් ලක්ෂ 50 ක ගෙවීමක් සිදුකර ඇති බව මහ බැංකුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අභ්‍යන්තර විගණන අංශය විසින් පෝර්ට් සිටි ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවට පසුගිය රජය සමයේ ලැබී ඇති අතිවිශාල මුදල් සම්භාරය පිළිබඳව සිදුකළ විගණනයේදී මෙම සැකකටයුතු ගෙවීම හෙලිදරව් වී තිබේ. මේ ආකාරයට රුපියල් බිලියනයකට ආසන්න ප්‍රමාණයක් විවිධ පුද්ගලයන්ට හා ආයතනවලට ගෙවා ඇති ආකාරය ගැටලු සහගත බැවින් ඒ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ විශේෂ විමර්ශන ඒකකය එම විමර්ශන කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ.

මෙසේ ශ්‍රී ලංකා මහ බැංකුවේ විමර්ශන ඒකකය විසින් එකී සැකකටයුතු ගනුදෙනු පිළිබඳව වැඩිදුර විමර්ශනය කිරීම රහස් පොලීසිය වෙත භාරදී ඇත්තේ යහපාලන ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන් එකී විමර්ශන සඳහා අනවශ්‍ය බලපෑම් කිරීම හේතුවෙනි. එසේ බලපෑම් කළ යහපාලන ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන්ගේ නම් ගම් අප සතුවුවත් ඒවා අප හෙලිදරව් නොකරන්නේ ඔවුන් විසින් රහස් පොලීසියටද එම බලපෑම නොකරාවි යන අනුමිතියේ පිහිටාය.

ඒ අනුව රහස් පොලිස් නිළධාරීන් මේ වනවිට පසුගිය රජය සමග කිට්ටුවෙන් වැඩකළ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුගෙන් මේ දිනවල කටඋත්තර ලබාගනිමින් සිටී.

මෙම විමර්ශන ඇරඹීමට ප්‍රථමව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තම ව්‍යාපාරික සගයෙකුට පවසා ඇත්තේ කලම්බු පෝර්ට් සිටි ව්‍යාපෘතියේ අක්කර 10 ක් තමන්ට හා තම පවුල වෙත ලබාදීමට එම ව්‍යාපෘතියේ ප්‍රධාන ආයෝජකයා වන චයිනීස් හාබර් ඉංජිනියරින් සමාගම එකඟ වූ බවයි. ඒ බව සඳහන් වෙනම ගිවිසුමක් තම පවුලේ උදවිය හා චයිනීස් හාබර් ඉංජිනියරින් සමාගම අතර ඇති බවත් එය අවශ්‍ය වෙලාවට කරලියට ගෙන එන බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සැකකටයුතු ගනු-දෙනු ලෙස නම්කොට රහස් පොලීසිය වෙත භාරදී ඇති තොරතුරුවල අවසාන ප්‍රතිලාභියා (Ultimate Beneficiary) ලෙස හෙලිදරව් වී තිබෙන්නේ මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ උදවියයි.

(LNW)

Powered by Blogger.