නාමල් ඇතුළු තිදෙනෙකුට ලක්ෂ 10 බැගින් ඇප.


රුපියල් මිලියනතිහක මුදලක් අයුතු ලෙස උපයාගැනීම මඟින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතට ගැනෙන වැරැදි සිදු කළ බවට අධිචෝදනා 11ක් යටතේ නීතිපතිවරයා පවරා ඇති නඩුවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු අධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකරුවන් තිදෙනාට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප ඊයේ (28) නියම කරන ලදී.

අධිකරණ සිතාසි මත පසුගිය 06 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි පාර්ලිමේන්තු‍ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා ස්ථිර විනිසුරුවරයා නොපැමිණීම හේතුවෙන් වැඩබලන විනිසුරුවරයා ‍විසින් පෙර මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නියම කළ ඇප මත මුදා හරිමින් ඊයේ (28) දිනට නැවත කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කර තිබුණි.

ඒ අනුව ඊයේ (28) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, සුජානි බෝගොල්ලාගම හා නිත්‍යා සේනානි සමරනායක යන විත්තිකරුවන්ට එසේ ඇප නියම කෙරුණි.

නීතිපතිවරයා විසින් විත්තිකරුවන් 06කට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

එහෙත් ඉන්දික ප්‍රභාත් කරුණජීව, ඉරේෂා සිල්වා හා සී / ස ගවර්ස් කෝපරේට් සර්විස් (පුද්ගලික) සමාගම ඊයේ (28) දිනද අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔවුනට නැවත ලබන අගෝස්තු 31 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ රෙජිස්ටාර්වරයාට නියෝග කළ විනිසුරුවරයා මෙම නඩුව නැවත කැඳවීම ද එදිනට කල් තබන ලදී.

2013 ඔක්තෝබර් මස 012 දින හා 2014 අගෝස්තු මස 31 අතර කාලයේදී කොළඹ දී පැමිණිල්ල නොදත් අන් අය සමඟ එක්වී රුපියල් මිලියන 30ක් අයුතු ලෙස උපයා ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතට ගැනෙන වැරැදි සිදු කිරීම, ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 11ක් යටතේ විත්තිකරුවනට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් සී / ස ගවර්ස් කෝපරේට් සර්විසස් (පුද්ගලික) සමාගම වෙනත් සමාගමක් සමඟ සිදු කළ ගනුදෙනුවකදී රුපියල් මිලියන තිහක මුදල අයුතු ලෙස උපයාගෙන ඇති බවට චෝදනා නඟා ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන ජයන්ත වීරසිංහ, අනිල් සිල්වා යන මහත්වරු සමඟ නීතිඥවරු මඬුල්ලක් පෙනී සිටියහ. 

Powered by Blogger.