ඇමති සාගලට මල්මිටක්.


නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල ගජේන්ද්‍ර රත්නායක මහතා පසුගිය සෙනසුරාදා (20) පොලිස් මූලස්ථානයේදී සිදුකළ කෙටි දේශනයකදී සඳහන් කළ කරුණු මේ වන විට ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ නිලධාරීන් අතර ඉමහත් පැසසුමට ලක්වෙමින් පවතී.

ශ්‍රී ලංකාව පුරා සෑම කොට්ඨාශයකම නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා ජේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් කොළඹට කැඳවා උදේ 8.30 සිට රාත්‍රී 9.40 දක්වා පුරා පැය 13 කුත් විනාඩි 10 ක් පුරා පොලිස්පතිවරයා විසින් පවත්වන ලද සම්මන්ත්‍රණය අතරතුර එම පොලිස් නිලධාරීන් අමතා කථා කිරීමට විෂයභාර අමාත්‍ය සාගල රත්නායකට පොලිස්පතිවරයා විසින් ඇරයුම් කර තිබේ.

රැස්ව සිටි පිරිස අමතමින් ඇමතිවරයා ඉතා කෙටියෙන් පවසා ඇත්තේ

‘මට තමුන්නාන්සේලාට කියන්න තියෙන්නෙ කරුණු 3යි. පලවෙනිම කරුණ තමා මේවගේ දිවයිනේ සියළුම උසස් පොලිස් නිලධාරීන් සහභාගිවෙන සම්මන්ත්‍රණයක් තියෙනව කියල මට කව්රුවත් දන්වල නෑ. මේක මට විතරක් නෙමෙයි ජනාධිපතිටත් දන්වන්න ඕන දෙයක්. කව්රුහරි මේක හිතාමතාම අතපසු කරල තියෙනවා. මේවගේ දවසක රටේ යම්කිසි හදිසි තත්වයක් උද්ගත වුනොත් එ්කෙ වගකීම භාර ගන්නෙ කවුද? අද කුරුණෑගල ඒවගේ තත්වයක් ඇතිවෙලා තියෙනවා. මුස්ලිම් පල්ලියකට පහර දීලා. තීරණ ගන්න සියළුම අය මෙතන.

දෙවැනි කරුණ තමයි 2015 ජනවාරි 8 වෙනිදා වෙනකොට නීතිය අපක්ෂපාතීව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රටේ මහජනතාව පොලිසියට ස්තූති කළා. ඔවුන් එසේ නොකළ නම් අද අපිට බලයේ ඉන්න බෑ. ඔවුන් ඉතා කාර්යක්ෂමව කටයුතු කළ නිසා කිසිදු ලේ වැගිරීමකින් තොරව යහපාලන රජයට බලය ලබා ගැනීමට හැකිවුණා.

තුන්වෙනි කරුණ ඒ විදිහට තිබ්බ පොලිසියක් අද වෙනකොට පිරිහිලා තියෙන ආකාරය. අද පොලිසියෙ තියෙන්නෙ සම්මන්ත්‍රණ සහ භාවනා විතරයි. රටපුරා අපරාධ රැල්ල අද දෙගුණ තෙගුණ වෙලා. මේ තත්වෙට සම්පූර්ණෙන්ම වග කියන්ඩ ඕනෙ වර්තමාන පොලිස්පතිතුමා. එතුමා හොඳ පුද්ගලයෙක්. ඒ වුනාට තමන්ගෙ ප්‍රමුඛතාවයන් මොනවද කියල එතුමා දන්නෑ. ඒක නිසා සමස්ථ පොලිස් සේවයම අද අවුලෙන් අවුලට පත්වෙලා' කියාය.

තම විෂයභාර අමාත්‍යවරයා එසේ පැවසුවද පොලිස්පති පූජිත් ජයසුන්දර ඒ පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වා තමන්ගේ සම්මන්ත්‍රණය රාත්‍රී 9.40 දක්වා දිග්ගස්සාගෙන ගොස් ඇත්තේ පැමිණ සිටි නිලධාරීන්ගේ බලවත් අප්‍රසාදය මධ්‍යයේය.

Share on Google Plus