අගමැති, ඉහළ පෙළ වට මේස සාකච්ඡාවට එක්වේ.


ඉහළ ආදායම් ආර්ථිකයන් හා සීග්‍රයෙන් සංවර්ධනය වන ආර්ථිකයන් එක්තැන් කරමින් ගෝලීය වෙළඳ වර්ධනයේ නව අවකාශයන් උදාකරන්නට 'එක් තීරයක් – එක් මාවතක්' ප්‍රයත්නය සමත් වන බැවින් හා සියළු රටවල දුර බැහැර පළාත්වලට පවා මෙහි ප්‍රතිලාභ ගලා යන බැවින්, මේ ප්‍රයත්නයට සම්බන්ධ සියළු රටවල්  අධිෂ්ඨාන සහගතව මේ ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට එක් විය යුතු බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

15වන දා චීනයේ බෙයිජිං නුවර යැංඡිවිල නිකේතනයේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී එක් තීරයක් – එක් මාවතක් මහා සමුළුවේ ඉහළ පෙළේ වට මේස සාකච්ඡාවේ දී අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් පැවසූයේ කලාපයේ  ආර්ථික වර්ධනයට හා සමෘද්ධියට පදනම වන්නේ ඉන්දීය සාගරයේ නිදහස් නාවුකගමනය බැවින්, මේ ප්‍රයත්නයේ සාර්ථකත්වය රදා පවත්නේ ඉන්දීය සාගරයේ තිරසර සාමය හා ස්ථාවරත්වය මත බවයි. ඒ නිසා සාමකාමී හා හමුදා නොවන සම්බන්ධතා දිරිගැන්වීම සහ බාධාවකින් තොරව බහුපාර්ශවික වෙළඳ කටයුතු හුදු වාණිජමය පදනමකින් පවත්වාගෙන යාම සහතික කිරීම වැදගත් වන බව ද ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව උත්සාහ ගන්නේ බොහෝ රටවල් සමග සම්බන්ධතා ඇති කර ගැනීමට හැකි සිය භූගෝලීය පිහිටීම පාදක කර ගනිමින් ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්වීමට බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් පිහිටුවා ඇති සම්මුතිවාදී ජාතික ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක එකතු වීම නිසා රටේ සියළු ජනතාවට ආර්ථික වර්ධනය හා සමෘද්ධිය ලබා ගැනීමේ පදනම සැකසී ඇති බව ද, ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්වීමේ ලාංකේය අභිලාශය මුදුන් පත් කර ගැනීම සඳහා එක් තීරයක් – එක් මාවතක් ප්‍රයත්නය යටතේ ප්‍රතිලාභ සැලසෙන බව ද පැවසීය.

වට මේස සාකච්ඡාව මෙහෙයවමින් චීන ජනාධිපති ෂී ඡින්පිං (XI Jinping) මහතා පැවසූයේ වර්තමානයේ එළැඹ ඇති ගෝලීය අභියෝගයන් ජය ගැනීමට තනි රටකට හැකියාවක් නැති බැවින් ඒ අභියෝග ජයගැනීම උදෙසා සියළු දෙනාම සාමූහිකව අත්වැල් බැඳගත යුතු බවයි.

පෙර – අපර යා කරන සේද මාවත අතීතයේ සිටම සංස්කෘතික හා සමාජයීය සබඳතා මගින් සියළු පාර්ශවයන්ට ප්‍රතිලාභ ගෙන දුන් බවත්, ඒ තත්වය යළි අනාගතයේ උදා කරලීම අප සැමගේ සාමූහික අරමුණ විය යුතු බවත් සිහිපත් කළ චීන ජනාධිපතිවරයා අවධාරණය කළේ එක් තීරයක් – එක් මාවතක් ප්‍රයත්නය එක් පාර්ශවයක හෝ එක් කණ්ඩායමක ව්‍යාපෘතියක් නොව, මුළු ලොවටම අයිති ව්‍යාපෘතියක් බවයි.

සංවර්ධනයට නව ඉඩක් සකස් කෙරෙන මේ ප්‍රයත්නය සාර්ථක කර ගැනීම සඳහාත් ප්‍රවර්ධනය කිරීම සඳහාත්, මේ වට මේස සාකච්ඡාව පාදක වනු ඇතැයි ෂී ඡින්පිං මහතා විශ්වාසය පළ කළේය.

එකිනෙකාට උදව් කරමින්, සියළු දෙනාට ජයගත හැකි පරිසරයක් සකස් කිරීමටත්, යටිතල පහසුකම් වර්ධනය කිරීමටත්, මූල්‍ය සහ ජනතාව අතර සම්බන්ධතාවන් ශක්තිමත් කිරීමටත් ක්‍රියා කළ යුතු බව පෙන්වා දුන් චීන ජනාධිපතිවරයා කලාපීය ආරක්‍ෂාව සහ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා, ප්‍රතිපත්ති සම්බන්ධීකරණය සඳහා යාන්ත්‍රණයක් සැකසීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

ආරක්‍ෂණ වාදය තව දුරටත් ඉදිරියට ගෙන ගිය නොහැකි බවත්, නිදහස් වෙළදාම ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම ගැනත් ෂී ඡින්පිං මහතා කරුණු ගෙනහැර පෑවේය. 

යැංඡිවිල ඓතිහාසික ප්‍රදේශයක් හෙයින් මෙය නව ගමනක ආරම්භයට සුදුසු තැනක් බැව් අවධාරණය කළ චීන ජනාධිපතිවරයා සාමය, සංවර්ධනය සහ සියල්ලන්ටම ජය හිමි වන අනාගතයක් කරා මෙහි සිට ඉහළට නැගෙමු යැයි සියල්ලන්ටම ආරාධනා කළේය.

සේද මාවත හා සම්බන්ධ රටවල් සහ ආයතන සියයක් එක් තීරයක් – එක් මාවතක් මහ සමුළුවට එක් වූ අතර, ආර්ජන්ටිනා ජනාධිපති මවුරිකියෝ මාක්රි (Mauricio Macri), බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ (Alexander Lukashenko), චිලී ජනාධිපතිනි මයිකල් බැකෙලට් ජෙරියා (Michelle Bachelet Jeria), චෙක් ජනරජයේ ජනාධිපති මිලොස් සේමන් (Milos Zeman), ඉන්දුනීසියානු ජනාධිපති ජොකො විදොදො (Joko Widodo), කසකස්තාන් ජනාධිපති නුරුසුල්තාන් නසර්බයෙව් (Nursultan Nazarbayev), කෙන්යා ජනාධිපති උහුරු කෙන්යටා (Uhuru Kenyatta), කිර්ගීස් ජනාධිපති අල්මස්බෙක් අටම්බ්යෙව් (Almazbek Atambayev), ලාඕසයේ ජනාධිපති බවුන්හැන් වොරචිත් (Bounnhang Vorachith), පිලිපීන ජනාධිපති රොඩ්‍රිගෝ රො දුතාර්තෙ (Rodrigo Roa Duterte), රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් (Vladimir Putin), ස්විට්සර්ලන්ත ජනාධිපතිනි ඩොරිස් ලූට්හාර්ඩ් (Doris Leuthard), තුර්කි ජනාධිපති රෙසෙච් ටෙයිප් (Recep Tayyip Erdoğan), උස්බෙකිස්ථාන් ජනාධිපති ශව්කැට් මිර්සියොයෙව් (Shavkat Mirziyoyev), වියට්නාම් ජනාධිපති ට්‍රැන් ඩයි ක්වන් (Tran Dai Quang), කාම්බෝජ අග්‍රාමාත්‍ය හන් සෙන් (Hun Sen), ඉතියෝපියා අග්‍රාමාත්‍ය හෙයිල්මේරියම් ඩෙසල්න් (Hailemariam Dessalegn), ෆීජි අග්‍රාමාත්‍ය ජොසියා වොරෙක් බෙයිනිමාරමා (Josaia Voreqe Bainimarama), හෙලනික් අග්‍රාමාත්‍ය ඇලෙක්සිස් සිප්රාස් (Alexis Tsipras), ඉතාලි අග්‍රාමාත්‍ය පව්ලො ගෙන්ටිලොනි (Paolo Gentiloni), හන්ගේරියානු අග්‍රාමාත්‍ය ඔර්බන් වික්ටර් (Orbán Viktor), මැලේසියානු ජනාධිපති නජිබ් රසාක් (Najib Razak), මොන්ගෝලියානු අග්‍රාමාත්‍ය ජාගල්තුල්ග්‍යන් අර්ඩන්බැට් (Jargaltulgyn Erdenebat), මියැන්මාර් රාජ්‍ය නායිකා අවුන් සාන් සුකී (Aung San Suu Kyi), පකිස්තාන් අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් (Nawaz Sharif), පෝලන්ත අග්‍රාමාත්‍යනි බේටා සයිඩ්ලො (Beata Szydło), සයිබීරියා අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් වුචික් (Aleksandar Vučić), ස්පාඤ්ඤ ජනාධිපතිනි මරියානෝ රජෝයි බ්‍රේ (Mariano Rajoy Brey), එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගටර්ස් (Antonio Guterres), ලෝක බැංකුවේ සභාපති ජිම් යොං කිම් (Jim Yong Kim) සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්‍ෂිකා ක්‍රිස්ටීන් ලෙගාර්ඩ් (Christine Lagarde) යන මහත්ම මහත්මීහු ද වට මේස සාකච්ඡාවේ දී අදහස් දක්වමින්, එක් තීරයක් – එක් මාවතක් ප්‍රයත්නයට සහයෝගය පළ කළහ.

වට මේස සාකච්ඡවේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ සම්පූර්ණ අදහස් දැක්වීම මෙසේය.

“ශත වර්ෂ ගණනාවකට පසු පළමු වතාවට ගෝලීය ආර්ථික බලය යළිත් වරක් ආසියාව වෙත කේන්ද්‍රගත වෙමින් පවතිනවා. ආර්ථික වර්ධනය නිසා 2030වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන්සහ තාක්‍ෂණය සඳහා සිදු කෙරෙන ආයෝජන වලින් උතුරු අමෙරිකාව සහ යුරෝපය අභිබවා යෑමට ආසියාවට හැකි වෙනවා. ආසියාව පුරා පාරිභෝගික වෙළඳපොළ පුළුල් වෙමින් යන අතර, ආසියානු මධ්‍යම පංතිය තියුණු ලෙස වර්ධනය වෙමින් පවතිනවා.

ඉන්දීය සාගර ආශ්‍රිත කලාපයේ තිරසර සංවර්ධනය සහ ඉහළ නැංවෙන ජනගහණය හේතුවෙන් එය වඩාත් වේගයෙන් වර්ධනය වන කලාපය බවට පත් වනවා. දකුණු ආසියාවේ ඉහළ වර්ධන වේගය හා සමුද්‍ර ගමනාගමන වර්ධනය මෙහි ප්‍රධාන හේතු සාධකයි. එක් තීරයක් – එක් මාවතක් ප්‍රයත්නය මේ තත්වයට උත්ප්‍රේරකයක් වනවා.

මේ පසුබිම මත ශ්‍රී ලංකාව උත්සාහ ගන්නේ බොහෝ රටවල් සමග සම්බන්ධතා ඇති කර ගැනීමට හැකි සිය භූගෝලීය පිහිටීම පාදක කර ගනිමින් ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්වීමටයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් පිහිටුවා ඇති සම්මුතිවාදී ජාතික ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක එකතු වීම නිසා රටේ සියළු ජනතාවට ආර්ථික වර්ධනය හා සමෘද්ධිය ලබා ගැනීමේ පදනම සැකසී තියෙනවා.

ඒ අනුව රජය ප්‍රධාන වාරයයන් තුනක්; කොළඹ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය, ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දෙකක්; කොළඹ සහ මත්තල සංවර්ධනය කිරීමේ වැඩ සැලසුම් ආරම්භ කර තියෙනවා. මේ ප්‍රයත්නයන් හේතුවෙන් නාවුක සහ ගුවන් කේන්ද්‍රස්ථානයක් බවට පරිවර්තනය වීමට අපට හැකි වෙනවා. එලෙසම, මහාමාර්ග, ජල සම්පාදන, බලශක්ති උත්පාදන ආදී ක්ෂේත්‍රයන්හි යටිතල පහසුකම් වර්ධනය කරන්නටත් අප ක්‍රියා කරනවා. බස්නාහිර මහ නගර සැලැස්ම යටතේ කොළඹ සහ යාබද දිස්ත්‍රික් දෙක යා කෙරෙමින් මිලියන 8ක ජනගහණයකින් යුතු විශාල නගරයක් බිහි කෙරෙනවා.

ශ්‍රී ලංකාවේ මේ අභිලාශයන්ට එක් තීරයක් – එක් මාවතක් ප්‍රයත්නය ඔස්සේ ප්‍රතිලාභ සැලසෙනවා. පෙර සඳහන් කළ හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ සහ දක්‍ෂිණ අධිවේගී මාර්ගය ඇතුළු වැදගත් යටිතල පහසුකම් සැපයීමේ ව්‍යාපෘති ගණනාවක් දියත් කෙරෙන්නේ එක්සිම් බැංකුව වැනි චීන මුල්‍ය ආයතනයන්ගේ සහයෝගයෙන්.

මුල්‍ය සම්බන්ධතාව ශක්තිමත් කරලීමට පදනම සකසන කොළඹ මුල්‍ය නගරය ඉදි කිරීම ආරම්භ කෙරුණේත් එක් තීරයක් – එක් මාවතක් ප්‍රයත්නය යටතේයි.

ශ්‍රී ලංකාව වෙළඳ සම්බන්ධතාවන් ද පුළුල් කරමින් සිටිනවා. ජීඑස්පී බදු සහනය යුරෝපීය සංගමය අපට ලබා දුන්නා. ඉන්දියාව සමග වන නිදහස් වෙළඳ ගිවිසුම තව තවත් ගැඹුරු හා පුළුල් කරලීමට අප බලාපොරොත්තු වෙනවා. චීනය හා සිංගප්පූරුව සමග නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කරගැනීම උදෙසා සාකච්ඡා පැවැත්වෙනවා. පරිපාලන රෙගුලාසි යළි සලකා බැලීම, බදු ක්‍රමවේදයන්හි සංශෝධන හා සරළ බදු ක්‍රමවේදයක් මගින් ව්‍යාපාර සිදු කිරීමේ පහසුව සලසා ආර්ථිකය ප්‍රතිව්‍යූහගත කිරීමට ද අප ක්‍රියා කරනවා. එමගින් සිව්වන කර්මාන්ත විප්ලවයට දායක වීම අපේ අපේක්‍ෂාවයි.

එක් තීරයක් – එක් මාවතක් ප්‍රයත්නය ඔස්සේ ඉන්දීය සාගර කලාපයේ සම්බන්ධතා ශක්තිමත් ව, මේ ප්‍රයත්නයට සම්බන්ධ රටවලට ආර්ථික වර්ධනයේ ඊළඟ තලයට පත්වීම උදෙසා අවකාශ සැලසෙනවා. ඉතිහාසය අපට පෙන්වා දෙන්නේ ඉන්දීය සාගරයේ නිදහස් නාවුකගමනය කලාපයේ  ආර්ථික වර්ධනයට හා සමෘද්ධියට පදනම වූ බවයි. ඒ නිසා මේ ප්‍රයත්නයේ සාර්ථකත්වය රදා පවත්නේ ඉන්දීය සාගරයේ තිරසර සාමය හා ස්ථාවරත්වය මතයි. ඒ නිසා සාමකාමී හා හමුදා නොවන සම්බන්ධතා දිරිගැන්වීම සහ බාධාවකින් තොරව බහුපාර්ශවික වෙළඳ කටයුතු හුදු වාණිජමය පදනමකින් පවත්වාගෙන යාම සහතික කිරීම වැදගත් වනවා.

යුරෝපීය සහ ආසියානු කලාපයන් එක් කෙරෙන මුල්ම ආර්ථික සහයෝගීතා වැඩ සැලැස්ම එක් තීරයක් – එක් මාවතක් ප්‍රයත්නයයි. ඉහළ ආදායම් ආර්ථිකයන් හා සීග්‍රයෙන් සංවර්ධනය වන ආර්ථිකයන් එක්තැන් කරමින් ගෝලීය වෙළඳ වර්ධනයේ නව අවකාශයන් උදාකරන්නට මෙය සමත් වනවා.

මේ නිසා සියළු රටවල දුර බැහැර පළාත්වලට පවා ප්‍රතිලාභ ගලා යනවා. ඒ නිසා අප සියළු දෙනා එක්ව අධිෂ්ඨාන සහගතව, සමීප සම්බන්ධතා ඇති කර ගනිමින් මේ ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට එක් වෙමු.

මේ ප්‍රයත්නය ආරම්භ කළේ චීන ජනාධිපතිතුමන් විසින්. නමුත් එය අයිති අප සැමටයි. ඒ නිසා අප සියළු දෙනාම මේ ප්‍රයත්නයේ කොටස්කරුවන් විය යුතුයි.

මේ වසරේ ඩවොස් නුවර ලෝක ආර්ථික සමුළුවේදී චීන ජනාධිපති ෂී ඡින්පිං මහතා සඳහන් කළාක් මෙන්;  “අපි විශ්වාසය තහවුරු කරමු. අවශ්‍ය පියවර ගනිමු. අතින් අත ගෙන දීප්තිමත් අනාගතය කරා පියමං කරමු.”  

නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානී ශානි කල්‍යාණරත්න යන මහත්ම මහත්මීහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම වට  මේස සමුළුවට එක්වී සිටියහ.

Powered by Blogger.