රංගජීව ගියේ වැටලීමකට ද ඩීල් එකකට ද?


පසුගිය අටවැනිදා පිළියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් නිළධාරීන්ට වෙඩිතැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා, ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා පත්කර ඇති බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි. ඒ අදාල වෙඩිතැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා පත්කර ඇති පොලිස් කණ්ඩායම් 11 ට අමතවරයි.

කෙසේ වෙතත් අදාල පත්කිරීම සම්බන්ධයෙන් ලතිෆ් මහතාට නිළ වශයෙන් තවමත් දැනුම් දී නොමැති බවයි වාර්තා වන්නේ.

මේ අතර වෙඩිතැබීමෙන් තුවාල ලබා සිටින IP රංගජීව පිළියන්දලට ගියේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට ලැබුණු ඔත්තුවක් මත මත්ද්‍රව්‍ය වැටලීමකටද නැතහොත් වෙනත් ගනුදෙනුවකටද යන්න සම්බන්ධයෙන් දැඩි සැකයක් මතුව තිබේ. රංගජීව මෙම වැටලීම සඳහා යන්නේ සිය පුද්ගලික මෝටර් රථයෙනි. පොලිස් වැටලීමක් සඳහා පොලීසියට අයත් වාහන භාවිතා කිරීම සාමාන්‍ය දෙයක් වුවත් මෙහිදී වැටලීම සඳහා භාවිතා කර ඇත්තේ රංගජීව අයත් පෞද්ගලික මෝටර් රථයයි. එසේම වැටලීම සඳහා සාමාන්‍ය පොලිස් භටයන් දෙදෙනෙකු පමණක් රැගෙන යාම හා ඔවුන් ද රංගජීවගේ සමීපතමයන් වීමද සැකයට භාජනය වී තිබේ.

වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු වන රංගජීවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විශාල බලයක් ඇති අතර එම අංශයේ බොහෝ දේ සිදුවන්නේ ඔහුට අවශ්‍ය ආකාරයට බවයි වාර්තා වන්නේ. මත්ද්‍රව්‍ය නාශක අංශය භාර නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා සහ ස්ථානාධිපති ලුඩොවයික් අභිබවා යාහැකි බලයක් රංගජීවට තිබෙන බව පොලිස් දෙපාර්තමේන්තුව තුළ ප්‍රසිද්ධ රහසකි.

රංගජීව අටවැනිදා රාත්‍රියේ සිය හිතවත් පොලිස් භටයන් දෙදෙනෙකුද සමග පෞද්ගලික මෝටර් රථයෙන් පිටත්ව යන්නේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයෙකු සමග ගනුදෙනුවකට බවට සිදුවීමේ පෙළගැස්වීමේදී සැකයක් මතුවේ. IP රංගජීවගේ ඉතිහාසය පරීක්ෂා කිරීමේදී ද එවැනි සැකයක් ඇතිවීම සාධාරණය.

වැලිකඩ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ප්‍රමුඛතම පොලිස් නිළධාරියෙකු වන රංගජීවට එරෙහිව ප්‍රබල සාක්ෂි තිබියදී ඔහුව අත්අඩංගුවට නොගැනීම ගැටලුවකි. වැලිකඩ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ කිසිදු බාධාවකින් තොරව සිදුවූවා නම්, රංජීව යනු අදාල ඝාතන සම්බන්ධයෙන් පැය 24 ක් තුළ අත්අඩංගුවට ගතයුතු සැකකරුවෙකි. එහෙත් අදෘශ්‍යමාන හස්තයක් ක්‍රියාත්මක වි අදාල පරීක්ෂණ කටයුතු අඩපන කරමින් සිටින අතර රංගජීව ඇතුළ පිරිසට මහ මගදී වෙඩි ප්‍රහාරයක් එල්ල වීම ද එම අදෘශ්‍යමාන හස්තය ක්‍රියාත්මක වීම හරහා සිදුවූවක් වියහැකිය.

(LNW)

Share on Google Plus