උතුරු මැද පළාත් සභාවට එජාප - ශ්‍රීලනිප හවුලක්. - Info Sri Lanka News | Sinhala

උතුරු මැද පළාත් සභාවට එජාප - ශ්‍රීලනිප හවුලක්.


උතුරු මැද පළාත් සභාවේ බහුතර බලය ගිලිහී ගියහොත් දැනට මධ්‍යම ආණ්ඩුවේ ක්‍රියාත්මක වෙන ජාතික ආණ්ඩුව අනුව යමින් එම පළාත් සභාවේ බලයත් දිගටම පවත්වා ගැනීමට පියවර ගන්නා බව කෘෂිකර්ම ඇමති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි.

ඇමතිවරයා එම ප්‍රකාශය කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා 'බීබීසි'යට කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.

උතුරුමැද පළාත් සභාවේ කේ.එච්.නන්දසේන ඇමතිවරයා පදවියෙන් ඉවත් කරනු ලැබීමෙන් අනතුරුව පළාත් සභාව තුළ බහුතර බලය ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායම අත කේන්ද්‍රගතව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා 'බීබීසි'යට කියා සිටියේය.

"උතුරුමැද පළාත් සභාව තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කණ්ඩායමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ කොළඹ නිවසේ දී සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවට මන්ත්‍රීවරුන් දාහත් දෙනෙක් සහභාගී වුනා. ඊට අමතරව තවත් මන්ත්‍රීවරයෙක් දුරකතනයෙන් කතාකර අපට සහයෝගය දෙනබව කියා සිටියා. මේ අනුව මේවනවිට උතුරුමැද පළාත් සභාවේ බහුතරය නියෝජනය කරන්නේ ඒකාබද්ධ විපක්ෂයට සහයෝගය දෙන කණ්ඩායමයි" පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන පවසයි.

එහෙත් එම සාකච්ඡාවට එවැනි මන්ත්‍රී සහභාගිත්වයක් සිදුව නැතැයි පවසන කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ ගෙනයන එම ක්‍රියාමාර්ගය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන්ට කරන හානියක් හැටියට විග්‍රහ කරයි.

"මහින්ද රාජපක්ෂ, අහතා බැසිල් රාජපක්ෂ සහ චන්ද්‍රසේන මහත්වරුන් කරන මේ වැඩේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හානියක්. ඒ ගැන කණගාටුයි. පළාත් සභාවේ මන්ත්‍රීවරුන් රහසිගතව කැඳවීමෙන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හානි කිරීමක්" ඇමතිවරයා පවසයි.

එහෙත් මේ ප්‍රශ්නයේ මුල කේ.එච්.නන්දසේන ඇමතිවරයා හදිසියේ දේශපාලන අරමුණු ඇතිව ඉවත් කරනු ලැබීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා අවධාරණය කරයි.

"ජනවාරි අටවෙනිදා දේශපාලන වෙනසින් පසුව හිටපු ඇමතිවරයා පදවියෙන් ඉවත්කර පේෂල ජයරත්න මන්ත්‍රීවරයාට මහඇමති පදවිය පැවරුවා. ආණ්ඩුව දුන් පොරොන්දුවක් අනුව අපි එදා දේශපාලන පියවරක් නොගෙන පළාත් සභාවට හවුල් වුනා. ඒත් ආණ්ඩුව නන්දසේන ඇමතිවරයා ඉවත් කළේ එම පොරොන්දු කඩ කරමින්" පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන කියා සිටියි.

මේවනවිට පළාත් සභාව තුළ තම කණ්ඩායම බලවත්ම කණ්ඩායම බවත් ඔහු පවසයි.

නන්දසේන ඇමතිවරයා පදවියෙන් ඉවත් කරන ලද්දේ ඉදිරි මැතිවරණ සඳහා තරඟ නොවදින බව ඔහු පක්ෂ නායකත්වයට දැනුම් දීමෙන් පසුව බව කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා කියා සිටියි.

පළාත් සභා නීතිය අනුව ඉහත කී කණ්ඩායමට බලයෙහි වෙනසක් සිදුකළ නොහැකි බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

උතුරුමැද පළාත් සභාවේ නිලකාලය ලබන සැප්තැම්බර් මාසයේ නිමවීමට නියමිතය.

(බීබීසී සිංහල සේවය)

Share on Google Plus