කැබිනට් සංශෝධනයට තව දින දෙකයි - ජනාධිපති කැබිනට් වර්ජනයේ.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය ප්‍රධානින් හමුවේ සඳහන් කල පරිදි අමාත්‍ය මණ්ඩල සංශෝධනයට ඇත්තේ තවත් දින දෙකක් පමණි.

පසුගිය වසරේ අග සිටම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට රජයේ නොයෙකුත් පාර්ශවයන් ගෙන් මෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ද අවස්ථාවන් ගනනාවදිකම සඳහන් කිරීම සම්බන්ධයෙන්, පසුගිය අප්‍රියෙල් මස 20 වෙනිදා මාධ්‍ය ප්‍රධානින් වෙනුවෙන් කොටුව ජනාධිපති මන්දිරයේ දි පැවති හමුවේදී මාධ්‍ය ප්‍රධානින් ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කලහ.

එයට පිලිතුරු දෙමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පැවසුවේ එන වෙසක් පෝයට පෙර එය සිදු වන බව බලා ගත හැකි බවයි.

මේ අනුව ජනාධිපතිවරයා පැවසු පරිදි තව දින දෙකක් යාමට මත්තෙන් අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු විය හැකි බැවින්, එම අවස්ථාව ආවරණය කිරීමට සුදානමින් සිටින ලෙස මාධ්‍ය ප්‍රධානින් කිහිප දෙනෙකුම සිය කාර්ය මණ්ඩල දැනුවත් කර තිබේ.

කෙසේවුවද, 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරන්නේ, අග්‍රාමාත්‍යවරයා මේ වනවිටත් අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධව ජනාධිපතිවරයා වෙත තම අප්‍රසාදය පල කොට ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2015 අගෝස්තු 21 වන දින අත්සන් කල අවබෝධතා ගිවිසුමට දෙවසරක් සපිරෙන දා අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කිරීම සුදුසු බවට අගමැතිවරයා, ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවද එම ආරංචිමාර්ග පවසයි.

කෙසේ නමුත් අගමැතිවරයා තවදුරටත් කැබිනට් මණ්ඩල සංශෝධනයකට එකඟ නොවන්නේ නම්, ලබන අඟහරුවාදා (09) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු තමා කැබිනට් මණ්ඩල රැස්වීම්වලට සහභාගී නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අගමැතිවරයාගේ සමීප හිතවතකු වන එජාප ප්‍රබල අමාත්‍යවරයකු වෙත දැනුම්දී ඇතැයි ජනාධිපති කාර්යාල ප්‍රකාශකයකු පැවසිය.

දැනට එජාපයට බාර දී ඇති කිසිඳු අමාත්‍යංශයක් ශ්‍රීලනිපයට පවරා නොගන්නා බවට ජනාධිපතිවරයා මෙහිදී එම ඇමතිවරයාට සහතික වී ඇතැයි ද ඔහු කියා සිටියේය.

අගමැතිවරයාගේ එකඟත්වය මත පොහොයට පෙර කැබිනට් සංශෝධනයක් කරන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල ජනාධිපතිවරයා මේවනවිට බරපතල අසීරුතාවයකට පත්ව සිටියි.

මේ සම්බන්ධයෙන් ඊයේ (06) රාත්‍රී සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතාගේ නිවසේ පැවති ශ්‍රීලනිප ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ විශේෂ සාකච්ජාවේ දී ද කතාබහට ලක්ව ඇත.

තමා මෙම අර්බුදය සම්බන්ධයෙන් තමාගේ ඥාතිවරයකු වන අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සමග පාර්ලිමේන්තුවේදී දීර්ග වශයෙන් සාකච්ජා කල බවද අමාත්‍ය අමරවීර මහතා එහිදී සඳහන් කර තිබේ.

මාස ගණනක සිට දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වන කැබිනට් සංශෝධනය මෙතෙක් පමාවී ඇත්තේ, එජාප අභ්‍යන්තර අර්බුදයන් හේතුවෙනි.


තමන් දරන ඇමැතිධුරයෙන් ඉවත් කළහොත් පාර්ලිමේන්තුවේ පසුපෙළ වාඩිවී, බැඳුම්කරයට අදාළ සියලු රහස් හෙළිකරන බවට ප්‍රබල ඇමතිවරයකු අගමැතිවරයාට දිගින් දිගටම තර්ජනය කරමින් සිටින බව 'සිරිකොත' එජාප ආරංචිමාර්ග පවසයි.

Powered by Blogger.