පවුලේ නඩු ඉවත් කළොත් එකතු වෙන්න ලෑස්තියි - මහින්දගෙන් මෛත්‍රීට පණිවිඩයක්. - Info Sri Lanka News | Sinhala

පවුලේ නඩු ඉවත් කළොත් එකතු වෙන්න ලෑස්තියි - මහින්දගෙන් මෛත්‍රීට පණිවිඩයක්.


මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට දේශපාලන වශයෙන් සහයෝගය ලබා දීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කොන්දේසියක් ඉදිරිපත් කර ඇත. අදාළ කොන්දේසිය වන්නේ මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට, පුත්‍රයෝ වන නාමල්,යෝෂිත සහ රෝහිත රාජපක්ෂට එරෙහිව පවතින නඩු ඉවත් කිරීම ය.

ජනාධිපතිවරයාට සමීප ප්‍රබල ඇමැතිවරයකු මඟින් මේ කොන්දේසිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ඉදිරිපත් කර ඇත. විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරන ආකාරයට ජනාධිපතිවරයා එම කොන්දේසියට එකඟ වීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇත.ජනාධිපතිවරයා පවසා ඇත්තේ මේ කොන්දේසියට එකඟ වුවහොත් තමන් 2015 ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයා ලෙස ලබා දුන් ප්‍රධාන ම පොරොන්දුව වන දූෂිතයන්ට දඬුවම් දීම යන කරුණ අකුළා ගැනීමක් සිදු වන බවයි.එය ආණ්ඩුවේ ඉදිරි දේශපාලන ගමනට ඍජුවම බලපාන කරුණක් වනු ඇති බව ද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

කෙසේ වෙතත් පසුගිය සතියේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු විය යුතුය යන අදහස පවසා තිබිණි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨයකු වන ඇමැති ජෝන් සෙනෙවිරත්න පසුගිය සතියේ මාධ්‍යයට පවසා තිබුණේ මහින්ද පිල සහ මෛත්‍රී පිල එකතු කිරීමේ සාකච්ඡා සාර්ථක බවයි. එහෙත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීරට අනුව අදාළ සාකච්ඡා අසාර්ථක ය.

-පරාක්‍රම දිසානායක

Share on Google Plus