"ප්‍රධාන පක්ෂ දෙක රට පාලනය කරලා දීපු ජයග්‍රහණයක් නෑ" - Info Sri Lanka News | Sinhala

"ප්‍රධාන පක්ෂ දෙක රට පාලනය කරලා දීපු ජයග්‍රහණයක් නෑ"


ප්‍රධාන පක්ෂ දෙක වසර 70ක් රට පාලනය කළත් ජනතාවට ලබාදුන් කිසිදු ජයග්‍රහණයක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානයක මහතා පැවසීය.

1985දී රටේ බර රුපියල් කෝටි 1300ක් බව පෙන්වා දුන් දිසානායක මහතා එය 2014 වන විට රුපියල් බිලියන 7391ක් වී ඇති බවත් එය 2017 වන විට රුපියල් බිලියන 10500ක් වී ඇති බවද කීවේය.

ජනතා විමුත්කි පෙරමුණේ මැයි රැලියට ඊයේ (01) සහභාගීවෙමින් අනුර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේය. 'ආර්ථික සංවර්ධනය, සමාජ සාධාරණත්වය, ජාතික සමගිය වෙනුවෙන් ජන බලය ගොඩනඟන රතු මැයි රැලිය' යන්න ජවිපෙ මැයි දින තේමාව වී තිබිණි.

එහිදී අදහස් දැක්වූ අනුර දිසානයක මහතා

කවුරු හරි අතුරු සිදුරු නැතිව පිරෙනවා කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් බි ආර් සී පිටිය පිරී ඉතිරී ඇති අකාරය කියන්න පුළුවන්. බොහෝ අය ඉඩ නැතිව හයිලෙවෙල් පාරේ ඉන්නවා. ප්‍රධාන පක්ෂ දෙක වසර 70ක් රට පාලනය කළා. ජනතාවට මොනවද ලබාදුන්නේ. ලබාදුන් ජයග්‍රහණ මොනවාද? ජනතාවත් රටත් ආපස්සට ගෙනගියා. රට, නහින රාජ්‍යයක් දුප්පත් හිඟන රටක් බවට පත් කළා. ජනතා පාලනයකින් රට ඉදිරියට ගෙන යා යුතුයි. අපේ රට දැවැන්ත ණය කන්දක පාලකයන් විසින් හිර කර තිබෙනවා. 1985දී රටේ ණය බර කෝටි 1300යි. 2014 දී ණය බර බිලියන7391යි. 2017දී ණය බර බිලියන 10500යි.

2016 වසරේ සිට රජයේ සේවයට එක්වන සේවකයන්ගේ විශ්‍රාම වැටුප කපපු රනිල්ගේ මැයි රැලිය තිබෙන්නේ කැම්බල්වල. ගොවියාගේ පොහොර සහනාධාරය කැපුවේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවයි. තවත් මැයි රැලියක් තිබෙනවා ගෝල්ෆේස් එකේ. එය පවත්වන්නේ මහින්ද රාජපක්ෂයි. එයාට අපි කියනවා තවත් අක්කර 600ක් ගොඩකරලා චීනයට දුන්න නම් මැයි රැලි ගෝල්ෆේස් තියන්න වෙන්නනේ නැහැ. මෙවැනි නායකයන්ගෙන් ජනතාවට ලැබෙන ජයග්‍රහණයක් නැහැ.

ජනතා විමුක්ති පෙරමු‍ණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල් කාන්ත මහතා මැයි දින රැලියේ දී මෙසේ කීය.

කුණු සම්බන්ධයෙන් අලියෙක් සම්බන්ධයෙන් තීරණයක් ගන්න බැරි ආණ්ඩුව අද විහිළු කරනවා. කවුරුත් එක්ක විහිළුකළත් වැඩ කරන ජනතාව සමඟ විහිළු කරන්න එන්න එපා කියා අපි කියනවා. රනිල් - මෛත්‍රී හවුලට අපි කියනවා වැඩකරන ජනතාවගේ අරගල මර්දනය කරන්න ලෑස්ති වෙන්න එපා. ජනතාවගේ ඇත්ත ප්‍රශ්න විසඳන්න බැරි පාලකයන්ට ඇති එකම උත්තරය මර්දනය තමයි. අපි ආණ්ඩුවට අභියෝග කර කියනවා උඹලා මර්දනය ගෙන එනවා නම් ඊට මුහුණ දෙන්න අපි සූදානම්. වැඩ කරන ජනතාව ජයග්‍රහණය කරන එක සහතිකයි.

අද අපි මුහුණ දෙන ප්‍රශ්න ගණනක් තිබෙනවා. පැය අටේ වැඩ දිනය අහෝසි කරන්න, රාජ්‍ය ආයතන විකුණන්න මේ ආණ්ඩුව සැලසුම් කර තිබෙනවා. අපි රනිල්ලටයි, මෛත්‍රීලටයි මැයි මාසයේ වැඩවර්ජනයක් දෙනවා. අපිට ආණ්ඩු බලයක් නැතිව මෛත්‍රීලගේ රනිල්ලගේ කණ මිරිකලා දණගස්වලා විදුලිබල මණ්ඩලයේ මෑන්පරවර් සේවකයන් 7000ක් ස්ථිර කර ගත්තා.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ එකම එක ජාත්‍යන්තර මැයි දින පෙලපාළියක්. ඒ ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලියයි. ජාත්‍යන්තර කම්කරු දිනයේ පාට රතු. රතුකොඩිය දාලා ලංකාවේ එකම මැයි දිනය සමරන්නේ මෙම පිටියේ තමයි. අපේ වේදිකාවේ සීනුව ලකුණ තිබෙනවා දැක්කද? එහෙම එකක් නෑ. අපේ කටවුට්වල සීනුව ලකුණ නෑ. ඇයි? අපි ජනතා විමුක්ති පෙරමුණ වුණත් සීනුව කියන්නේ ඡන්ද ලකුණක්. එය මැයි දිනයට අදාළ ලකුණ නොවෙයි.

ගැටඹේ රැලිය අත ලකුණින්. ඒවා මැයි දින රැලියක් නොවෙයි. ඒගොල්ලන්ගේ පක්ෂ රැස්වීමක් තිබෙන්නේ. අද මෛත්‍රීපාලගේ ශ්‍රී ලංකා බාගේ ගැටඹේ. ශ්‍රීලනිපයේ මහින්දගේ පළුව ගාලු මුවදොර. අද බොරැල්ල කැම්බල් පිටියේ රැස්වීමක් තිබෙනවා. ඒ රැස්වීමට කලින් කිව්වා රතුපාට මැයි දිනය කොළපාට මැයි දිනයක් කරනවා කියා. බොරැල්ලේ කැම්බල් එකේ තියෙන්නේ කොළපාට රැලියක්. හැබැයි මැයි රැලියක් නොවෙයි. කැම්බල් පිටියේ තිබෙන්නේ එජාප රැලියක් මිසක් මැයි දින රැලියක් නොවෙයි. අද ගෝල්ෆේස් පිට්ටනියේ තිබෙන්නෙත් මැයි දින රැලියක් නොවෙයි. නිල්පාටින් මැයි දිනය සමරන්න බෑ. බෞද්ධ කොඩිය නැතිනම් වෙසක් දිනය නෑ වගේ ඕනෑම දේකට අනන්‍යතාවක් තිබෙනවා. රතුකොඩිය දාලා වෙසක් දිනය සමරන්න බෑ. වෙසක් දිනය සමරන්න ඕනා බෞද්ධ කොඩිය දමලා. ඒ වගේම කොළ කොඩි, නිල් කොඩි දාලා මැයි දිනය සමරන්න බෑ.

දෙහිවල එස් ද එස් ජයසිංහ පාසල් ක්‍රීඩාංගණයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පෙලපාළිය ආරම්භ විය.

Share on Google Plus