මංගල, රවී හා අර්ජුන ඉවත් කිරීමේ සැබෑ හේතුව? - මහින්ද ගෙන් රවිට ඇමතුමක්. - Info Sri Lanka News | Sinhala

මංගල, රවී හා අර්ජුන ඉවත් කිරීමේ සැබෑ හේතුව? - මහින්ද ගෙන් රවිට ඇමතුමක්.


ලෝකයේ හොඳම මුදල් ඇමැති සහ විදේශ ඇමැති වත්මන් ආණ්‌ඩුවේ සිටින බවට ආණ්‌ඩුව විසින් ප්‍රකාශ කර සති කිහිපයක්‌ ගත වීමටත් පෙර එම ඇමැතිවරුන් ඉවත් කිරීමේ සැබෑ හේතුව වහාම රටට හෙළි කළ යුතු යෑයි ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්‌ අලහප්පෙරුම මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (22 ) සිදුකළ කැබිනට්‌ සංශෝධනය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ මතය පිළිබඳව 'දිවයින' පුවත්පත කළ විමසීමකදී එසේ පවසා ඇති ඩලස්‌ අලහප්පෙරුම මහතා,  මෙසේද සඳහන් කර තිබේ.

''ලෝකයේ හොඳම මුදල් සහ විදේශ ඇමැතිවරුන් හිටියේ වත්මන් ආණ්‌ඩුවේ. ඇයි ඔවුන් ඉවත් කළේ? ඒ ගැන නිල පිළිතුරක්‌ රජය වහාම ලබා දිය යුතුයි.

ජනමාධ්‍ය ඇමැතිකම මංගල මහතාට ලබා දුන්නේ එළැඹෙන ජනමත විචාරණයේදී මාධ්‍ය මෙහෙයුම සූදානම් කිරීමටයි.

එසේම වරාය ඇමැති ධූරයෙන් අර්ජුන මහතාව ඉවත් කළේ හම්බන්තොට සහ ත්‍රිකුණාමලය වරාය ගිවිසුම් කඩිනමින් අත්සන් කරන්නයි. ඔහු මේ ගිවිසුම් දෙකටම විරුද්ධව කටයුතු කළා. අපි හිතන්නේ නැහැ අර්ජුන දූෂිතයෙක්‌ කියලා.

එසේම මේ කැබිනට්‌ සංශෝධනය ආණ්‌ඩුව එරෙහිව ගොඩනැගෙන ජනතාවගේ මනස තාවකාලිකව වෙනස්‌ කරන්න කළ දෙයක්‌. තනතුරු මාරු කළා කියලා ප්‍රණීත බෝග අස්‌වැන්නක්‌ ජනතාව බලාපොරොත්තු වෙන්න එපා.''

මේ අතර රවී කරුණානායක මහතාගේ අමාත්‍ය ධුරයේ වෙනසක් ඇතිවන බව වාර්තාවීමත් සමග ඔහුට දුරකථන ඇමතුමක් ලබාදී ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ඒ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව බරපතල ලෙස දෝෂදර්ශනයට ලක් කර තිබේ.

යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීමට විශාල කාර්ය භාරයක් කල රවී කරුණානායක මහතාව මුදල් ඇමති ධුරයෙන් ඉවත් කිරීම බරපතල වරදක් බව පවසා ඇති මහින්ද රාජපක්ෂ මහතා, මෛත්‍රීපාල සිරිසේන මහතා ගුණමකුවකු බව සඳහන් කර ඇත.

කෙසේවුවද, රවී කරුණානායක මහතා දුෂිතයකු බව පවසමින් ඒකාබද්ධ විපක්ෂය මිට මාස කිහිපයකට පෙරදී විශ්වාසභංගයක් ගෙන ඒමට කටයුතු කළේය.

කැබිනට් මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් කොළඹ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසුයේ, මෙම කැබිනට් මණ්ඩල සංශෝධනයේ සැබෑ අරමුණ වී ඇත්තේ ජනතාව මුහුණ දී සිටින ගැටලුවලට විසදුම් ලබා දීම නොවන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම, අමාත්‍ය ධූර ලබාදීම හරහා වසර 2020 දක්වාම ආණ්ඩුවේ රඳවා ගැනීම මෙහි අරමුණ වී තිබෙන බව අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

“ආණ්ඩුව මාරු කරලා රට හදන්න බැරි වුණ එකේ කැබිනට් එක මාරු කරලා රට හදන්න පුළුවන්ද? එනිසා මෙය රනිල්-මෛත්‍රී හවුලේ බොරු රංගනයක් විතරයි. '' ඔහු වැඩිදුරටත් පැවසිය.

“රවීට මුදල් ඇමති ලෙස චෝදනාවක් තිබුණා නම් ඔහුට නැවත ඇමති ධුරයක් දෙනවා වෙනුවට කළ යුතුව තිබෙන්නේ ඇමති ධුරයෙන් ඉවත් කිරීමයි. ඉන්පසු චෝදනා විමර්ශනය කොට දඬුවම් ලබාදිය යුතුයි. නමුත් සිදුකර තිබෙන්න් නව ඇමතිකමක් ලබාදීමයි.

සමාජ ජාලවල මෙයට හොඳ විවේචනයක් තිබුණා. කරවල කාලා දුවන බල්ලාට උම්මලකඩ පොල්ලෙන් ගැහුවා වගේ කියලා.'' ජවිපෙ නායකයා වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේවුවද, ඊයේ (22) කැබිනට් අමාත්‍යවරුන් හමුවේ අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, නැවුම් බලාපොරොත්තුවකින් යුතුව රටක්‌ ලෙස ඉදිරියට යැම කැබිනට්‌ මණ්‌ඩල සංශෝධනයේ අරමුණ බව පැවසිය.

මිත්‍රශීලීව සහ කැපවීමෙන් කටයුතු කරමින් රටේ අභිවෘද්ධිය සඳහා වූ සාමුහික වගකීම ඉටුකිරීමට එක්‌වන ලෙස මෙහිදී නව අමාත්‍ය ධුර ලැබූ සියලු ඇමැතිවරුන් ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි ජනාධිපතිවරයා සමාජය සහ රට වෙනස්‌ කළ හැක්‌කේ මිනිසාගේ යහපත් වෙනස්‌වීම තුළින් බව ද පෙන්වා දුන්නේය.

Share on Google Plus