මැයි රැලියේ ප්‍රතිචාර දැක මහින්ද තීරණයක් ගනී. - Info Sri Lanka News | Sinhala

මැයි රැලියේ ප්‍රතිචාර දැක මහින්ද තීරණයක් ගනී.


ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ මැයි රැලියට සහභාගි වීමට පැමිණි ජනතාව දැක පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලා එක්දින හර්තාලයක් පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ තීරණය කර තිබේ.‍

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන්ට විරුද්ධව හෝ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රීලංකා නිදහස් පක්ෂ නායකයින් පිළිබඳව යම් තීරණයක් ගතහොත් ඊට මුහුණදීමටද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයිද විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි. 

ඒකාබද්ධ විපක්ෂය තමන්ගේ මැයි රැලිය පැවැත්වීමට ගෝල්ෆේස් පිටිය ඉල්ලා සිටියේ තමන්ගේ බලය පෙන්වීම අරමුණු කරගෙන වන අතර, එහි සංවිධායකයන් එම පණිවුඩය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගෙන යෑමට අවශ්‍ය පාක්ෂිකයන් පිරිසක් කොළඹට ගෙන්වා තිබිණි. 

මේ සාර්ථකත්වය අනුව ඉදිරියේදී තමන්ට සහ තම කණ්ඩායමට විරුද්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ක්‍රියාමාර්ග ගතහොත් එම ක්‍රියාමාර්ග සඳහා මුහුණදීමට තමන් සූදානම් බව මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ. 

ටාජ් සමුද්‍රා හෝටලයේ ඉහළ මහළේ සිට ගෝල්ෆේස් පිටියට පැමිණෙන සිය පාක්ෂිකයන් දෙස මහින්ද රාජපක්ෂ මහතා බලා සිටි අතර, එය වසර දෙකකට පසු ඔහු දැඩි සතුටකින් සිටි අවස්ථාවක් ලෙසද ඔහුගේ සමීපතමයෝ පවසති. 

මේ අතර, මේ පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ ඉතිහාසයේ වැඩිම පිරිසක් පැමිණි මැයි රැලිය තම කණ්ඩායම විසින් පැවැත්වීම තුළ රටේ ජනතාවගේ කැමැත්ත තමන් වෙත පවතින බවට යළිත් තහවුරු වුණු බවයි.

එමෙන්ම වත්මන් යහපාලන ආණ්ඩුවට පවතින ජනතා විරෝධය ද එහිදී එළිදැක්වුණු බවයි. ඒ නිසා ඉදිරි කාලයේදී පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලා එක්දින හර්තාල් ව්‍යාපාරයක් රටපුරා ක්‍රියාත්මක කිරීමට ඊයේ (01දා) ඒකාබද්ධ විපක්ෂයේ නායකත්වය තීන්දු කළ බවද ඒ මහතා පැවසීය. 

පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල්දමමින් නීතිවිරෝධීව කටයුතු කරන යහපාලන ආණ්ඩුව පන්නා දැමීමේ සටන වේගවත් කිරීම සඳහා තම කණ්ඩායමේ ඉලක්කය පාර්ලිමේන්තු මැතිවරණයක් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

 පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා යහපාලන ආණ්ඩුවට හැකිනම් තමන් තවදුරටත් බලයේ සිටීමට සුදුසු බවට ඔප්පුකර පෙන්වන ලෙසද පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙහිදී යහපාලන ආණ්ඩුවට අභියෝග කළේය.

Share on Google Plus