ගම්පොළ දරුවා බේරා ගත් හැටි. - Info Sri Lanka News | Sinhala

ගම්පොළ දරුවා බේරා ගත් හැටි.


ගම්පොළ ගඟවට පාර ප්‍රදේශයේ දී රුපියල් ලක්‍ෂ තිහක කප්පම් මුදලකට පැහැරගත් අවුරුදු 2යි මාස 8ක් වයසැති...පිරිමි දරුවා දින තුනකට පසු ගම්පොළ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මඩකළපුව කරදියනාරු ප්‍රදේශයේ දී නිරුපද්‍රිතව පෙරේදා (06) පෙරවරුවේ බේරා ගැනීමට සමත්වී ඇත.

රිනාස් මොහොමඩ් සල්මාන් නමැති මේ දරුවා කප්පම් මුදල් ලබා ගැනීමේ අරමුණින් පැහැරගත් සහ එම සැලසුම ක්‍රියාත්මක කළ බව පැවසෙන ඔහුගේ මාමා ඇතුළු පස් දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

දරුවාගේ පියාට දිවා ආහාරය ලබා දීමට නිවෙස ආසන්නව පිහිටා තිබූ වෙළෙඳසලකට යන මුවාවෙන් 26 හැවිරිදි ඔහුගේ මාමා මේ පිරිමි දරුවා පැහැර ගෙන ගොස් තිබුණි. ඒ ඉකුත් 03 වැනිදා පස්වරු 2.30ට පමණය.
දරුවා සමඟ ඔහුවත් පැහැර ගැනීමකට ලක් වූ බව හැඟවීමට එම මාමා එලෙස ක්‍රියා කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් දරුවාගේ පියාගෙන් ගම්පොළ පොලිසියට ලද පැමිණිල්ලකට අනුව පොලිස්පති පූජිත් ජයසුන්දර, මධ්‍යම පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ, මහනුවර දිස්ත්‍රික්ක භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ඒකනායක, ගම්පොළ කොට්ඨාස භාර පොලිස් අධිකාරී එච්.එන්.එස්. මෙන්ඩිස්, සහකාර පොලිස් අධිකාරී පී.කේ. ඥානසේන යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය හා උපදෙස් මත ගම්පොළ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එස්. ක්‍රිශාන්තන් මහතා ඇතුළු නිලධාරීන් විසින් විමර්ශන කටයුතු ආරම්භ කරනු ලැබීය.

බදුල්ල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි මාමා නමැත්තා මහනුවර රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීම ස¼දහා දරුවා සිටි නිවෙසට පැමිණ තිබූ අතර ඔහුගේ මැදිහත් වීම මත වෙනත් තැනැත්තෙකුගේ දුරකතනයක් හරහා එම තැනැත්තා විසින් මුල දී රුපියල් ලක්‍ෂ 30ක මුදලක් දරුවාගේ පියාගෙන් ඉල්ලා තිබිණි.

දරුවා සමඟ මාමා ද පැහැර ගැනීමකට ලක් වූ බවට නිවැසියන් පැවැසුවද පොලිස් විමර්ශන ඔස්සේ මේ පැහැර ගැනීමට ඔහුගේ සම්බන්ධයක්් ඇති බවට පොලිසිය විසින් අනාවරණය කර ගෙන තිබිණි.

ඉකුත් 04 වැනි දින කප්පම්කරුවන් දරුවා සහ මාමා මුදා හැරීමට නියම කළ කප්පම් මුදල රුපියල් ලක්‍ෂ 10 දක්වා අඩුකර තිබූ බව ද පොලිසිය පවසයි.

එසේම විටින් විට දරුවා ජීවතුන් අතර සිටින බවට හැඟවීම සඳහා කප්පම්කරුවන් දරුවාගේ තාත්තා සමඟ කතා කිරීමට දරුවාට අවස්ථාවක් ලබා දී තිබූ බව ද පොලිසිය සඳහන් කරයි.

ඉකුත් 05 වැනි දින කප්පම්කරුවන් තමාව මහනුවර ප්‍රදේශයේදී මුදාහැර ගිය බවට දරුවාගේ මාමා දරුවාගේ පියාට දුරකතන ඇමතුමක් මඟින් දන්වා තිබිණි.

මහනුවර දුම්රිය ස්ථානයේ සිටියදී පොලිස් කණ්ඩායම් විසින් මාමා කියන පුද්ගලයා ප්‍රශ්න කිරීම සඳහා පොලිස් භාරයට ගනු ලැබීය.

පොලිස් නිලධාරීන් එම තැනැත්තාව සැක කරන බව ඔහුට නොහැඟවෙන පරිදි කටයුතු කළ බවත් ඔහුගේ දුරකතන දත්ත ඔස්සේ විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බවත් උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.

තමාට රුපියල් ලක්‍ෂ 10ක කප්පම් මුදල රැගෙන කොළඹ පැමිණියහොත් දරුවා ලබා දෙන බවට කප්පම්කරුවන් පැවැසූ බව එම මාමා පොලිස් නිලධාරීන්ට පවසා තිබිණි.

ඔහුගේ දැනුම් දීමකට අනුව දරුවාගේ පියා ඇතුළු ඥාතීන් කණ්ඩායමක් ඉකුත් 15 වැනි දින කොළඹ ප්‍රදේශයට කප්පම් මුදල ද රැගෙන පිටත් කළ බව පොලිසිය පවසයි.

මාමාට සැක නොසිතන පරිදි එම ගමනට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් ද පිටත්ව ගොස් තිබූ අතර කොටුව, පිටකොටුව, මරදාන, බොරැල්ල යන ප්‍රදේශයන්වලට පැමිණෙන බවට සැල කරමින් කප්පම්කරුවන් දරුවාගේ පියාව එදින රස්තියාදු කර තිබූ බව ද පොලිසිය කියයි.

එම සැලසුමද අසාර්ථක වූ තැන කප්පම්කරුවන් නැවත දරුවාගේ පියාට දන්වා ඇත්තේ රුපියල් ලක්‍ෂ 10ද රැගෙන කල්මුණේ ප්‍රදේශයට පැමිණෙන බවටය.

පෙරේදා (06දා) පෙරවරුවේ දරුවාගේ මාමාවත් රැගත් දරුවාගේ පියා කල්මුණේ ප්‍රදේශයට පිටත්ව ගොස් තිබිණි.

කල්මුණ ප්‍රදේශයට පැමිණි පසු කප්පම්කරුවන් දරුවාගේ පියාට මඩකළපුව, කළුපාලම ප්‍රදේශයට පැමිණෙන බවට දන්වා තිබූ බවද පොලිසිය සඳහන් කරයි.

මාමාට සැක නොසිතන පරිදි විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් ඔවුන් ගමන් ගත් වෑන් රථය පසුපස හඹා ගිය බවත් කප්පම්කරුවන් පැවැසූ ප්‍රදේශයේදී මාමා පමණක් තනිවම කප්පම්කරුවන් අසලට යැවීමට කටයුතු කළ බව ද පොලිසිය කියා සිටී.

කප්පම්කරුවන් මගේ ඇස් බැන්දා. ඊට පස්සේ මාව කොහේට හෝ අරගෙන ගියා. ඊට පස්සේ මම රුපියල් ලක්‍ෂ දහය ඔවුන්ට දුන්නා. ඔවුන් මට ළමයා දුන්නා යැයි එම මාමා දරුවාව රැගෙන විත් පියාට දෙන අවස්ථාවේදී පවසා තිබිණි.

කෙසේ වෙතත් වහාම ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම එම මාමාව අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ලද ප්‍රකාශ මත මඩකළපුව, කරදියනාරු ප්‍රදේශයේ නිවෙසක් වටලනු ලැබීය.

එම නිවසේ එළු මඩුවෙහි සඟවා තිබූ රුපියල් ලක්‍ෂ 10ද පොලිස් භාරයට ගත් අතර නිවසේ සිටි කාන්තාවත් ඇයගේ දියණිය සහ තවත් තැනැත්තන් දෙදෙනකු අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිස් භාරයට ගත් දරුවාව ඉන් අනතුරුව වෛද්‍ය පරීක්‍ෂණයට භාජන කර ඇති අතර එහිදී දරුවාගේ සෞඛ්‍ය තත්ත්තවය යහපත් බවට වෛද්‍යවරුන් සනාථ කර තිබිණි.

මේ කප්පම් ගැනීමේ සිද්ධියට දරුවාගේ තවත් මාමා කෙනකු දැනට අත්අඩංගුවේ පසුවන තැනැත්තාගේ වැඩිමහල් සොහොයුරා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

අත්අඩංගුවට ගත් මාමා, දරුවා රඳවා සිටි නිවසේ කාන්තාව සහ ඇයගේ දියණිය ඊයේ (07දා) ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Share on Google Plus