'එක් තීරයක් – එක් මාවතක්' සමුළුවේ සමාරම්භක අවස්ථාව (Exclusive Video)


‘එක් තීරයක් – එක් මාවතක්’ ප්‍රයත්නය යටතේ සියළු රටවල් හා පාර්ශවයනට ජයග්‍රහණය හා ප්‍රතිලාභ හිමිවන අයුරින් සංවර්ධනය ඉදිරියට ගෙන යාමට ක්‍රියා කිරීම සඳහා අත්වැල් බැඳගන්නා මෙන් චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින්පිං (XI Jinping) මහතා  පැවසීය.

14 වන දා පෙරවරුවේ චීන ජාතික සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ දී එක් තීරයක් – එක් මාවතක් මහා සමුළුවේ සමාරම්භක දේශනය පවත්වමින් චීන ජනාධිපතිවරයා අවධාරණය කළේ යහපත පොදුවේ බෙදා හදා ගනිමින්, සමබර ලෙස සංවර්ධනය මෙහෙයවීමේ වගකීම සියළු පාර්ශවයන් වෙත හිමි වන බවයි.

රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන සියයකට අධික සංඛ්‍යාවක් සහ රටවල් 29 ක රාජ්‍ය සහ දේශපාලන නායකයින් මේ සමුළුවට සහභාගී වූ අතර, ඔවුන් අතර විශේෂ සාකච්ඡා වාරයන්  හෙට දවස පුරා පැවැත්වීමට නියමිතය.

සමුළුවේ සමාරම්භක උත්සවය අමතමින් ෂී ජින්පිං (XI Jinping) මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ මණ්ඩලය සහ එහි ආරක්‍ෂක මණ්ඩලය සිදු කළ වැදගත් යෝජනා ‘එක් තීරයක් – එක් මාවතක්’ වැඩ පිළිවෙලට ඇතුළත් වීම විශේෂයක් බවයි. 

මේ වැඩ සැලැස්ම සඳහා අවශ්‍ය මුල්‍ය ආධාර ලබා දීම සඳහා ද චීනය ක්‍රියා කරන බව පෙන්වා දුන් චීන ජනාධිපතිවරයා සේද මාවත අරමුදලට යුවාන් බිලියන 100 ක් වෙන් කිරීමටත්, එක් තීරයක් – එක් මාවතක් වැඩ සැලැස්මට සම්බන්ධ විදේශීය රටවල ආයෝජනය සිදු කරන චීන ව්‍යවසායකයන් වෙනුවෙන් යුවාන් බිලියන 300 ක් වෙන් කිරීමටත් ක්‍රියා කරන බව පැවසීය.

එසේම යටිතල පහසුකම් සහ සංවර්ධනය, බලශක්ති සම්පත් නිෂ්පාදන හා මුල්‍ය සහයෝගීතාවන්ට අනුබල දීම සඳහා චීන ජාතික සංවර්ධන බැංකුව හා ආනයන හා අපනයන බැංකුව වෙත යුවාන් බිලියන 380 ක් වෙන් කර ඇති බවද පෙන්වා දුන්නේය.






Powered by Blogger.