මධ්‍යම පළාතෙත් බල පෙරළියක අවදානමක්‌. - Info Sri Lanka News | Sinhala

මධ්‍යම පළාතෙත් බල පෙරළියක අවදානමක්‌.


එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට බලය හිමි මධ්‍යම පළාත් සභාවේ බල පෙරළියක්‌ ඇතිවීමේ අවදානමක්‌ හටගෙන ඇතැයි 'දිවයින' පුවත්පත වාර්තා කරයි.

 බල පෙරළිය ගැන සාකච්ඡා රහසිගතව සිදුවෙමින් ඇති බව එම පුවත් වාර්තාවේ දැක්වේ.

 හිටපු පළාත් ඇමැති ප්‍රමිත බණ්‌ඩාර තෙන්නකෝන් මහතාගේ ඉල්ලා අස්‌වීමෙන් අනතුරුව බල පෙරළියක ඇරඹුම හටගෙන තිබෙන බව පැවසේ.

ප්‍රමිත බණ්‌ඩාර තෙන්නකෝන් මහතා ඇතුළු මහින්ද රාජපක්‌ෂ හිතවාදී මන්ත්‍රීවරුන් 11 දෙනකු ස්‌වාධීනව මධ්‍යම පළාත් සභාවේ කටයුතු කිරීමට ගෙන ඇති තීරණයක්‌ ගැන ද කුකුසක්‌ හටගෙන ඇත.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට මෙතෙක්‌ සහයෝගය දුන් මන්ත්‍රීවරුන් අටදෙනකු වර්තමානයේ පවතින දේශපාලන බල අරගලය මැද දොලනය වෙමින් එක්‌සත් ජාතික පක්‌ෂය සමඟ සිටීම නිසා තත්ත්වය දරුණු අතට හැරී තිබෙන බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මධ්‍යම පළාත් සභාවේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මන්ත්‍රීවරු 40 ක්‌ නියෝජනය කරති.

පලනි දිගම්බරම්, ආරුමුගම් තොන්ඩමන්, එස්‌. රාධාක්‍රිෂ්ණන් යන මහත්වරුන්ගේ සහයෝගය එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට හිමිව ඇත.

ආර්. පී. සමරනායක මන්ත්‍රීවරයා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් මධ්‍යම පළාත් සභාවට තේරී පත් වුව ද පසුගිය 2015 මහ මැතිවරණයේදී එක්‌සත් ජාතික පක්‌ෂයෙන් මහනුවර දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරමින් මනාප 51,000 කට වැඩි සංඛ්‍යාවක්‌ ලබාගෙන සිටියි.

පවතින බල පෙරළියක සැකය වන්නේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ බලය මන්ත්‍රීවරුන් 22 ක්‌ දක්‌වා පහළ යැමේ අවදානමෙන් බලය ගිලිහී යනු ඇති බවයි.

මහින්ද හිතවාදී කණ්‌ඩායම ස්‌වාධීනව කටයුතු කිරීමට රහසිගත සාකච්ඡා දැන් සිදුකරගෙන යන බවත් එහි නායකත්වය ප්‍රමිත බණ්‌ඩාර තෙන්නකෝන් මහතාට පැවරීමට ගෙන ඇති තීරණයට සුළු පිරිසකගේ අකැමැත්ත ද පළ කර තිබෙන බවත් දැනගන්නට ඇත.

මධ්‍යම පළාත් සභාවේ විපක්‌ෂ නායක චානක අයිලප්පෙරුම මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමේදී ''පළාත් සභාවේ බල පෙරළියක අවදානමක්‌ තිබෙනවා. හිස්‌වූ ඇමැති ධුරය ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් සාකච්ඡා කරලා ලැබෙයි කියන විශ්වාසයෙන් හිටියත් ලැබුණේ නැහැ'' යෑයි පැවසීය.

මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා මෙසේ පැවසීය,

"විවිධ දේශපාලන අදහස්‌ එක්‌ක අපි මෙතෙක්‌ කල් කටයුතු කළා. මහින්ද රාජපක්‌ෂ හිටපු ජනාධිපතිතුමාට හිතවාදී 10 ක්‌ පමණ සිටිනවා. මීට කලිනුත් උත්සාහ කළා පළාත් සභාව පෙරළන්න බැරි වුණා. මතක තියාගන්න අධිකරණ තීන්දුවක්‌ තියෙනවා පළාත් සභාවේ පාලනය වෙනස්‌ කරන්න බැහැ කියලා".

Share on Google Plus