කැබිනට් සංශෝධනයක් හෙට - ශ්‍රීලනිපයට පමණයි - රනිල්ට උණ.


මාස කිහිපයක සිට සිදු කෙරෙනවායැයි පවසමින් තිබූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය හෙට (09) දිනයේ සිදු කිරීමට නියමිතව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගලවලින් වාර්තා වේ.

හෙට සිදුවන අමාත්‍ය සංශෝධනය සිදුවන්නේ ශ්‍රීලනිප ඇමතිවරුන් අතරේ පමණක් බව සිරිකොත ආරංචි මාර්ගවලින් මේ අතර වාර්තා වේ.

කෙසේවුවද, දේශපාලන විචාරකයින් පවසන්නේ ජනාධිපතිවරයා මාධ්‍ය ප්‍රධානීන්ට කියූ වචනය සනාථ කිරීමට මේ කැබිනට් සංශෝධනය ජාම බේරා ගැනීමට සිදු කරන්නක් බවයි.

පසුගිය අප්‍රේල් 20 වැනිදා ජනාධිපතිවරයා මාධ්‍ය ප්‍රධානීන් හමුවේ ලබන පොහොය දිනයට පෙර කැබිනට් සංශෝධනය සිදුකරන බව පවසා තිබිණි.

මේ සම්බන්ධයෙන් අප එජාප මූලස්ථානයේ සිරිකොත මාධ්‍ය භාර ප්‍රධානියකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ එජාපයේ කැබිනට් සංශෝධනයක් හෙට දිනයේ සිදු නොවන බවයි.

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අසනීපයෙන් සිටින බවට පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අප විමසා සිටි අතර, අගමැතිවරයා පසුගිය දිනවල බදුල්ලේ කළ සංචාරය අතරතුරදී උණ හා සම්ප්‍රතිෂ්‍යාව වැළඳී ඇති බවත් එබැවින් ඔහු දින දෙකක පමණ කාලයක් නිවාඩු ගැනීමට කටයුතු කර ඇති බවයි.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ රංග කලංසූරිය මහතා හෙට (09) දිනයේදී සියලුම මාධ්‍ය ආයතන කැඳවා ඇත්තේ කැබිනට් සංශෝධන දැනුම්දීමට දැයි අප කලංසූරිය මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ජාත්‍යන්තර වෙසක් දින උත්සවය කොළඹදී පැවැත්වෙන බැවින් ඒ සම්බන්ධයෙන් සියලුම මාධ්‍ය හරහා විශේෂ ප්‍රකාශයක් කිරීමට ජනාධිපතිවරයා එසේ සියලු මාධ්‍ය කැඳවූ බවයි.

එසේම තමා කැබිනට් සංශෝධනයක් වනවාද යන්න පිළිබඳව නොදන්නා බවත් එවැන්නක් තමාට දැනුම්දී නැතැයිද ඔහු කීය.

මේ අතර, අමාත්‍ය මණ්ඩල සංශෝදනයක් වන බවට පැතිර යන කාරණා හේතුවෙන් ෆයිසර් මුස්තාපා මහතා ඒ පිළිබඳව විමසීමට ජනපතිවරයා හමුවීමට ගොස් කැබිනට් සංශෝධයක් මේ කාලයේදී සිදුවන්නේ නම් තමා නිල විදෙස් සංචාරයකට එක්වන්නට නියමිත බැවින් එයට එක්නොවී සිටින්නදැයි ජනපතිවරයාගෙන් විමසා ඇති අතර ප්‍රතිඋත්තර ලෙස ජනපතිවරයා ඔහුට ප්‍රශ්නයක් නොමැති බවත්, සංචාරයට එක්වන ලෙසත් ෆයිසර් ඇමතිවරයාට දැනුම්දී ඇත.

මේ අතර, පසුගියදා සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතාගේ නිවසේ ශ්‍රීලනිප ඇමතිවරු රැස්වූ අවස්ථාවේ කැබිනට් සංශෝධයක් සිදු කළ යුතුම බවට ජනපතිවරයාට දැනුම්දී ඇතැයි ද ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

මේ සාකච්ඡාව සඳහා ශ්‍රීලනිප ලේකම් දුමින්ද දිසානායක මහතා සම්බන්ධවී නොසිටීමද විශේෂ සිද්ධියකි.

මේ අතර, කැබිනට් සංශෝදනයක් සිදුවන බවට කළ හෙළිදරව්වත් සමඟ ජනාධිපති කාර්යාලයට තානාපති කාර්යාල, ජ්‍යෙෂ්ඨ නිලධාරීගෙන් හා ඇමතිවරුන්ගෙන් දුරකථන ඇමතුම් ගලාවිත් ඇති අතර, ඇමතිවරුන් කිහිපදෙනෙකු මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ජනපතිවරයා කොක් හඬලා සිනාසෙමින් පවසා ඇත්තේ ඔය වෙබ්වල තියෙන ඒවානේ යනුවෙනි. කෙසේවුවද, ඔහු සංශෝධනය සම්බන්ධ කරුණු ප්‍රතික්ෂේප නොකළ බවද පැවසේ.

ඇතිවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට අද (08) රාත්‍රී 7.00 ට සාකච්ඡාවක් සඳහා පැමිණෙන ලෙස ජනාධිපතිවරයා දැනුම්දී ඇති බවද වාර්තා වේ.

Share on Google Plus