කෝලිතට තානාපතිකමක් : ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ක්‍රිෂාන්ත?


ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා ජුනි 15 එම තනතුරින් විශ්‍රාම ගැන්වීමට නියමිත අතර අනතුරුව ඔහුව විදෙස් තානාපතිවරයකු ලෙස පත්කිරීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

කෝලිත ගුණතිලක මහතාට තවදුරටත් සේවා දිගුවක් නොදීමට තීරණය කර ඇති ජනාධිපතිවරයා, ඔහු විශ්‍රාම ගැනීමෙන් පුරප්පාඩු වන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා පත් කිරීමට බලාපොරොත්තුව සිටින බවද පැවසේ.

එහෙත් එම තනතුරට වඩා යුධ හමුදාපති ලෙස කටයුතු කිරීමට තමා කැමති බව ජනාධිපතිවරයාගේ හිතවතුන්ට දැනුම් දී ඇති ක්‍රිෂාන්ත ද සිල්වා මහතා, විශ්‍රාම ගැනීමෙන් පසු තමාට විදෙස් රටක තානාපති ධුරයක් ලබාගැනීමට සහය වන ලෙසත් ඉල්ලීමක් කර ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

යුධ හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා ගේ දෙවන සේවා දිගුව අගෝස්තු 21දායින් අවසන්වේ.

යුධ හමුදාපති ධුරය සඳහා මේවනවිට මේජර් ජනරාල් මහේෂ් සේනානායක හා මේජර් ජනරාල් බොනිෆස් පෙරේරා අතර සිතල යුද්ධයක් පවතී.

ජනාධිපතිවරයා ඉදිරි මාස කිහිපය තුලදී ආරක්ෂක ක්ෂේත්‍රය මුළුමනින්ම ප්‍රතිසංවිධානය කිරීමට බලාපොරොත්තුව සිටින බවත්, ඒ අනුව ත්‍රීවිධ හමුදාවේ ඉහල තනතුරු කිහිපයක් වෙනස් කිරීමට තීරණය කර ඇති බවත් ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසිය.

එහි ආරම්භක පියවර ලෙස ජනාධිපතිවරයාගේ සමීපතම මිතුරකු වන කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරයෙන් විශ්‍රාම ගන්වා ජර්මනියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කිරිමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ද එම ප්‍රකාශකයා පැවසිය.

මේ අතර නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවී විජේගුණරත්න මහතාට ලබාදුන් මාස හයක සේවා දිගුව අගෝස්තු 22 අවසන් වීමට නියමිත අතර ඔහුට තවදුරටත් සේවා දිගුවක් ලබා නොදීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ද පැවසේ.

එසේ පුරප්පාඩු වන නාවික හමුදාපති ධුරයට මේවනවිට රියර් අද්මිරාල් ට්‍රැවිෂ් සින්නයියා ගේ හා රියර් අද්මිරාල් පියල් ද සිල්වා ගේ නම් යෝජනා වී ඇත.

වත්මන් ගුවන් හමුදාපතිවරයා සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

(SLM)

Powered by Blogger.