අපා දුක් විඳි විරුවා රැකියාවෙන් නෙරපා වසර 9යි.


ඉතා අමිහිරි මතක සටහන් ඉතිරි කරමින් තිස් වසරක කුරිරු යුද්ධය නිමා වී හරියටම අදට (19දා) වසර 8 කි. එම යුද්ධය පැවැති කාලයේ වසර පහක් පුරා කොටි සිර කඳවුරක මැරිමැරී ඉපදෙමින් අපාදුක් විඳි පොලිස් නිලධාරීන් 44 දෙනාගෙන් එක් පොලිස් නිලධාරියකු පිළිබඳව දිග හැරෙන අනුවේදනීය කතාවකි මේ.

මේ කතාව අපට කියන්නේ පො.සැ. 11933 ගමගේ පේමදාස අබේවික්‍රම මහතායි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ රම්මල වරාපිටිය ඉපදුණු ගමගේ පේමදාස අබේවික්‍රම 1988.03.20 දින පොලිස් සේවයට බැඳී මාස හයක පමණ කාලයක් කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව ලබා කොළඹ කොටහේන ආමර්වීදිය පොලිස් ස්ථානය ඔහුගේ පළමු රාජකාරි ස්ථානය විය. එවකට රටේ පැවැති යුද වාතාවරණය මැද වසරක පමණ කාලයක් ආමර්වීදිය පොලිසියේ සේවය කර ඉන්පසු උතුරු පළාතේ වවුනියාව මාන්කුලම් පොලිස් ස්ථානයට ස්ථාන මාරුවක් ලැබී එහි රාජකාරි කරමින් සිටියේය. ඒ කාලය වන විට ඉන්දියන් සාම සාධක හමුදාව ලංකාවෙන් පිටව ගොස් දෙවැනි ඊළාම් යුද්ධය ආරම්භ වී පොදු ප්‍රවාහන පහසුකම් එනම් බස් රථ, දුම්රිය උතුරු පළාතට ගමන් නොකරන නිසා බාහිර සබඳතා ඇනහිට තිබිණි.
"එවකට මාන්කුලම් පොලිසියේ සිංහල, දෙමළ, මුස්ලිම් පොලිස් නිලධාරීන් 87 දෙනකු සිටියා. අප පොලිසිය ඉදිරියෙන් තිබෙන යුද හමුදා කඳවුර නිසා පොලිසියට ආරක්ෂාව ලැබුණා. ඒ කාලය වන විට අලිමංකඩ, යාපනය, යාපනය කොටුව, කිලිනොච්චි, පුනරීන් ආදී ප්‍රදේශවල දරුණු සටන් ඇති වෙලයි තිබුණේ. දැන් අපට රාජකාරියටකට පිටතට යන්නවත් බැරි තරමට යුද්ධය දරුණු වෙලා. යාපනය-වවුනියාව ප්‍රධාන මාර්ගයෙ එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගේ මුර පොළවල් තිබෙන නිසා සියලුම සැපයුම් මාර්ග අවහිර වෙලා තිබුණෙ. අප පොලිසියේද ආහාර අවසන් වී ඒ වනවිට ඉතිරිව තිබුණේ කව්පි ගෝනියක් පමණයි. බඩගින්න නිසා දින තුනක් තිස්සේ කව්පි තම්බල ලුණු ඉසගෙන කාල තමයි අප සියලු දෙනා බඩගින්න නිවා ගත්තේ.

අවටින් ඇසෙන්නේ කන් බිහිරි කරගෙන ඇසෙන වෙඩි සද්ද විතරයි. පොලිස් බංකර ඇතුළට වෙලා ගිනි අවියත් මානාගෙන අපි සියලු දෙනාම සිටියේ ජීවිතය ගැන බලාපොරොත්තුවක්, විශ්වාසයක් නොමැතිවයි. ඒ තරමට යුද්ධය දරුණු වෙලා තිබුණේ. ඒ අමිහිරි දිනය මතක් වන විටත් ඇගේ මයිල් කෙළින් වී යන තරමට බියක් දැනෙනවා. 1990.06.13 දින රාත්‍රිය අඳුර වැටී සුපුරුදු විදියට මධ්‍යම රාත්‍රිය උදාවුණා. අප කිසිවෙක් අපේක්ෂා නොකළ වේලාවක එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විශාල පිරිසක් පැමිණ අප පොලිසිය වට කළා. අපට හිතාගන්න වෙලාවක් තිබුණෙ නැහැ. එක දිගට ඉතා දරුණු ප්‍රහාරයක් අපට එල්ල වුණා. පොලිසිය ඉදිරියෙන් තියෙන යුද හමුදා කඳවුරටත් ඒ අවස්ථාවේම එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් පහර දීලා තිබුණ නිසා අපේ සහායට යුද හමුදාවට ඒමට හැකි වුණේ නැහැ. අපද ජීවිතය පරදුවට තබා එක දිගට පැය ගණනාවක් කොටි ත්‍රස්තවාදීන් සමඟ සටන් කළා. අපේ තිබුණ වෙඩි උණ්ඩත් ඒ වනවිට අවසන් වී ගෙනයි තිබුණේ. පාන්දර 3.00 ට වගේ ඇති වෙලාව. අප සමඟ සිටි දෙමළ පොලිස් නිලධාරියෙක් පැමිණ කිව්වා පොලිසිය දැන් කොටි වටකර ඇති බවත් ආයුධ බිම තබා යටත්වන ලෙස. ඒ වන විට පොලිසියේ විදුලියද විසන්ධි වෙලයි තිබුණෙ. අවසානයේ අපට සිද්ධ වුණා ආයුධ පැත්තකින් තියල එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට යටත් වීමට. ඒ අවස්ථාව වන විට මාන්කුලම් පොලිසියේ ජීවතුන් අතර සිටි සියලුම පොලිස් නිලධාරීන් එල්ටීටීඊ අත්අඩංගුවට පත්වුණා. ඊට පස්සෙ අපේ දෑස් සහ අත් පිටුපසට කර බැඳ අප සියලු දෙනාම ඔවුන්ගේ ට්‍රැක්ටර්වලට නංවා ගත්තා. මට මතක හැටියට එක ට්‍රැක්ටරයක පොලිස් නිලධාරීන් 25-30 අතර ප්‍රමාණයක් සිටියා. අපේ පොලිස් ස්ථානාධිපති ද්‍රවිඩ ජාතිකයෙක්. ඔහුද ට්‍රැක්ටරයකට නඟිනු මම දැක්කා. ඉන්පසු පොලිස් ස්ථානාධිපති මම දැක්කෙ නැහැ.

උදේ වන විට අපි සියලු දෙනාම එළිමහන් කඳවුරකට ගෙන ගියා. ගිහින් අපට උදේට පාන් සමඟ කිරි තේ දුන්නා. අප සිටි ස්ථානයට සවස් වන විට මිය ගිය කොටින්ගෙ සහ හමුදාවේ මළ සිරුරු කොටින් විසින් අරගෙන එනවා දැක්කා. ඒ වන විට අප සියලු දෙනා ජිවිතය ගැන තිබූ බලාපොරොත්තු අතහැරල තිබුණෙ. එදින සවස මුස්ලිම්, දෙමළ පොලිස් නිලධාරීන් වෙන් කළා. ඉතිරි සිංහල පොලිස් නිලධාරීන් 18 දෙනාගේ දෑස් අත්පිටුපසට තබා බැඳ අපට දිගින් දිගටම පහර දෙන්න ගත්තා. පහර දීලා අපව අඩපණ වුණාට පස්සෙ උස්සලා ලොරියකට වීසි කළා. ඒ වන විට අපව මරන්න කියලා ප්‍රභාකරන් නියෝග දීලා කියලා කියනු ඇසුණා. ඊට පස්සෙ අපි මුලතිව් තූනකායි වනාන්තරයට අරගෙන ආවා. අපට සිතුණේ දැන් දැන් අපිට වෙඩි තබා මරයි කියල. ඉන්පසු ලොරියෙන් බස්සවා එක දිගටම තල්පිතිවලින් පහර දුන්නා. අත්පා පිට පිපිරිලා ලේ ගලනවා. එදින දහවල් අපට කිසිදු කෑමක් නෑ. බොන්න වතුර උගුරක් දුන්නෙ නැහැ. අතපය පුපුරු ගහන වේදනාව ඉවසගන්න බැහැ. එහෙම හිටපු අපි නැවතත් ලොරියකට පටවා ගෙන වෙනත් තැනකට අරගෙන ගියා. ඒ වනවිට වතුර උගුරක් නැතුව දිව ගිලිලා තොලකට වේළිලා. දෙවන දවසේ පාන් ගෝනියක් සහ පරිප්පු බාල්දියක් කොටි අරගෙන ඇවිත් මේව කාපන් කියා අපට පහර දුන්නා. තුන්වන දවසේ පාන්දර අප ඇඳන් සිටිය නිල ඇඳුම් හා සිවිල් ඇඳුම් ගලවා ඉණවටේ දවට ගන්න රෙදි කැබැල්ලක් දුන්නා. ඒක දවට ගත්තට පස්සෙ අපේ දෑස් බැඳ අත්පා පිටුපසට තියල බැඳල ලොරියකට දමා ගත්තා. මම තුන් සූත්‍රය සිතින් කියමින් ගියේ අවසන් ගමනට සූදානම්ව. ඉන්පසු වළක් ළඟට අරගෙන අප දෙදෙන බැගින් දෙපාවලට දම්වැල් දැම්මා. දම්වැල් දාල ඉවර වෙලා යකඩ ඉණිමගක් තිබුණ වළට බහින්න. එතැනට අරගෙන ගිහිල්ලා ලණුවක් ආධාරයෙන් වළට බහින්න අණකළා. අප දැමූ වළේ පළල අඩි 10 ක් 20 ක් විතර ඇති. ගැඹුර අඩි 20 ක් විතර ඇති. වළට එක්වුණ පිරිස 44 ක්. අපට එක්වුණ අලුත් පිරිස ඔඩ්ඩුසුඩාන් පොලිස් ස්ථානයේ සිටි සිංහල පොලිස් නිලධාරීන් පිරිසක් බව දැනගත්තා. වළේ ඉඩ මදි නිසා කිසිම කෙනෙක් නිදාගත්තෙ නැහැ. වළට ආහාර දුන්නෙ බාල්දියකින්, මලපහ කරන්නට මුත්‍රා කරන්නට සිදුවුණේ බාල්දියකට.

වැසිකිළි බාල්දිය දිනකට වරක් පහළට බස්සනවා. බාල්දිය වළට දැමූ ගමන් මලපහ මුත්‍රා කිරීම් කළ යුතුයි. අතපසු වුවහොත් කරන්නට දෙයක් නැහැ. මල මුත්‍රා කිරීමේ ප්‍රශ්න නිසා ආහාර ගැනීම, වතුර බීම අප සිදු කළේ අඩුවෙන්. ජුනි 19 දින වළෙන් අපි පස්දෙනා බැගින් ගොඩ ගත්තා. ප්‍රශ්න කළා. අපි එකිනෙකා වෙනුවෙන් වෙන වෙනම ලිපි ගොනු සකස් කරන බව පෙනුණා. ඉන්පසු ජුනි 24 දින සවස වළෙන් ගොඩගත්තා. එදත් සිතුණේ ජීවිතයේ අවසන් දවස උදා වුණා කියලා. අත් පිටුපසට කර බැඳ කකුල්වලට දම්වැල් විලංගු දාලා අපි ලොරියකින් අරගෙන ගියා. ටික වේලාවකින් අලුත් තැනකට අරගෙන ගිය අපි ලොරියෙන් බස්සවා අපේ අත්විලංගු ගලවා එක කාමරයකට 22 බැගින් කාමර දෙකකට දැම්මා. ඊට පසුදා උදේ දෙදෙනා බැගින් යා කර අත්විලංගු දැම්මා. මා සමඟ විලංගු වැටුණේ සාජන් කරුණාරත්න මහතායි. අත්විලංගු මැද අපි එල්ටීටීඊ අත්අඩංගුවේ තබාගෙන අපිට දිනපතාම හිරිහැර කරමින් දස වද දුන්නා.

1991 ජනවාරි 10 දින රතු කුරුස සංවිධානයෙන් අපි බලන්න ආවා. ඇවිත් අපෙන් විස්තර අහලා බෙහෙත් දීලා ගියා. ඊට දින කිහිපයකට පස්සෙ පෙර පරිදිම මාංචු දාලා වෙන තැනකට අරගෙන ගියා. මේ අතර සිංහල අලුත් අවුරුද්ද උදා වුණා. සිංහල අපි එදත් සුපුරුදු විලංගු ඇතිව තුන්වේලම පාන් කෑවා. ඔය කාලෙදි අපේ තුන් දෙනෙක් නොයෙක් ලෙඩ හැදිලා බෙහෙත් නොදී මැරුණා. අපි නිදහස් කරන්නෙ නැති බව අපිට තේරුණා. අපි රතු කුරුසයට කිව්වා අපිව නිදහස් කරගන්න කියල. ඒත් කොටි අපි නිදහස් නොකරන බව කියල තිබුණා. අපි නිදහස් කරගන්න රජයටත් අවශ්‍යතාවක්, උනන්දුවක් තිබුණේ නැති බව අපිට තේරුණා. ඒ නිසා අවුරුදු තුනහමාරක් විතර ජීවිතයත් මරණයත් අතර සිටිය අපි තීරණය කළා මාරාන්තික උපවාසයකට යන්න. මේ බව රතු කුරුසය හරහා එල්ටීටීඊ එකට දැනුම් දෙන්න කියලා. ඒ අනුව 1993 ජුනි 13 දින අපි උපවාසය ආරම්භ කළා. උපවාසය ආරම්භ කරලා දින ගණනාවක් ගතවුණා. දින නවයක් ගතවන විට මා ඇතුළු පස්දෙනකු අසාධ්‍ය තත්ත්වයට පත්වීම නිසා එල්ටීටීඊ එකෙන් අපි පස්දෙනා දෙමවුපියන්ට භාර දෙන්න තීරණය කරලා. ඒ අනුව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය හරහා අපි පස්දෙනා දෙමවුපියන්ට භාරදී තිබුණා.

ඉන්පසු නාරාහේන්පිට පොලිස් රෝහලේ මාස තුනක් නේවාසිකව ප්‍රතිකාර ගැනීමෙන් පසු නිවෙස් පිහිටි පොලිස් ස්ථානවලට අනුයුක්ත කරනු ලැබුවා. ඒ අනුව වලස්මුල්ල පොලිසියට මම අනුයුක්ත කළා. මා වරින්වර අසනීප වීම හේතුවෙන් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුව සඳහා කොළඹ පොලිස් මූලස්ථානයට මාරු කරනු ලැබුවා. එහි වසර තුනකට වැඩි කාලයක් සේවය කිරීමෙන් පසු මා පදිංචි ලිපිනයට ආසන්න පොලිස් ස්ථානය වන කටුවන පොලිසියට නැවත මා අනුයුක්ත කළා. එම පොලිස් ස්ථානයේ මා සේවය කරමින් සිටින අවස්ථාවක කටුවන පොලිසියේ ස්ථානාධිපතිවරයා මට එවකට පැවැති රජයට පක්ෂපාතීව රාජකාරි කරන ලෙස කීප අවස්ථාවක මට ප්‍රකාශ කළා. එහෙත් ඒ සෑම අවස්ථාවකම මම කිව්වේ මට දේශපාලනය කරන්න බැහැ. මම අවංක පොලිස් නිලධාරියෙක් වශයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ නීතිරීතිවලට අනුව වැඩ කරන බවයි. මේ නිසා පොලිස් ස්ථානාධිපති මා සමඟ අමනාපයෙන් සිටියේ. මේ නිසා මට නිතරම කිව්වේ ප්‍රදේශයේ ඇමැතිවරයාට කියල දුෂ්කර පළාතකට මාරු කරන බවයි. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මා කතරගම පොලිසියට මාරු කළා. මේ කාලයේ මගේ බිරිඳ අසනීප තත්ත්වයේ සිටියෙ. ඒ වගේම මටත් දුරක එක දිගට වාහනයක යන්න බැරි තත්ත්වයක සිටියේ. ඒ නිසා ඉහත මාරුව අවලංගු කරගන්න තංගල්ල ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාට වාචිකව මෙන්ම ලිඛිතවත් දැනුම් දුන්නා. මම මෙහෙම එල්ටීටීඊ අත්අඩංගුවේ අවුරුදු තුනහමාරක් සිටිය කෙනෙක්. ජීවිතයත් මරණයත් අතර සටනක් කරලා නොමැරී බේරිලා ආවා. ඒ නිසා මගේ මාරුව අවලංගු කරලා දෙන්න කියලා. එහෙත් සිදු වුණේ 2008.10.29 දින සිට මා සේවය අතහැරයෑමේ නියෝගය නිකුත් කර වැඩ තහනම් කිරීම පමණයි.

වසර 20 ක් පමණ කාලයක් සේවය කළද කිසිදු විනය කඩ කිරීමකට දඬුවම් ලබා නොමැති බැවින් මා නැවත සේවයේ පිහිටුවන ලෙසට ඉල්ලා එවකට සිටි පොලිස්පතිතුමාට, රාජ්‍ය ආරක්ෂක ලේකම්තුමාට, රාජ්‍ය සේවා කොමිෂන් සභාවට, හිටපු ජනාධිපතිතුමාට මාගේ දුක්ගැනවිල්ල පිළිබඳව ඉල්ලීම් කළද කිසිදු සාධාරණයක් ඉටු නොවූ බැවින් පාර්ලිමේන්තු පෙත්සම් කාරක සභාවට පෙත්සමක් ඉදිරිපත් කිරීමෙන් පසු මාගේ දුක් ගැනවිල්ල විභාග කර හිඟ වැටුප් සමඟ නැවත සේවයේ පිහිටුවන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාවට හා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයට නියෝග 4 ක් නිකුත් කළද එවකට පැවැති රජය එයට සාධාරණයක් ඉටු කළේ නැහැ. පෙත්සම් කාරක සභාවේ නියෝග පැවැති රජය තුට්ටුවකට ගණන් ගත්තේද නැහැ. රැකියාව අහිමිවීම නිසා මා දරුවන් හතර දෙනා සහ බිරිය සමඟ ගත කරන්නේ ඉතා දුක් කම්කටොලු සහිත ජිවිතයක්. රට වෙනුවෙන් පොලිස් සේවයට බැඳී සේවය කරමින් සිටින විට කොටි ත්‍රස්තවාදීන්ගේ අත්අඩංගුවට පත්ව වසර තුනහමාරක් මැරි මැරී ඉපිද අපාදුක් විඳ පෙර භවයේ කළ පිනකින් නොමැරී බේරී ආ මා හට අද සිදුව තිබෙන්නේ කොටි ත්‍රස්තවාදීන්ගේ කුරිරු වධ වේදනාවලට ලක්ව ඇති වූ කැළැල් පමණයි.

තිස් වසරක කුරිරු යුද්ධය අවසන් කර මැයි 19 දිනට වසර 8 ක් ගතව ඇතත් මාගේ රැකියාව අහිමිව මේ වන විට වසර 9 ක් ගතව ඇත. වර්තමාන යහපාලන රජයේ ජනාධිපති අගමැති ඇතුළු රජයෙන් මා ඉල්ලා සිටින්නේ මා නැවත සේවයේ පිහිටුවා මාගේ මාතෘ භූමිය වෙනුවෙන් නැවතත් සේවය කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසයි.

Share on Google Plus