මහින්දගේ තවත් ආරක්ෂකයන් 50ක් ඉවතට.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රභූ ආරක්ෂක ඒකකයෙන් තවත් 50 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (07දා) සවස් වරුව වන විට ඉන් ඉවත් කළ බව හිටපු ජනාධිපතිගේ මාධ්‍ය ප්‍රකාශක උදිත ලොකුබණ්ඩාර මහතා ප්‍රකාශ කෙළේය.

පොලිස් පරීක්ෂකවරු 3ක්ද, උප පොලිස් පරීක්ෂකවරු 5ක් සහ කාන්තා පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකු එසේ ඉවත් කළ 50 දෙනා අතර සිටින බවද පැවැසූ උදිත ලොකුබණ්ඩාර මහතා ජනාධිපති ආරක්ෂක ඒකකයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි ඉවත් කළ 50 දෙනාගේ නාම ලේඛනයක්ද එවා ඇති බව පැවැසීය. 

මේ 50 දෙනා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වශයෙන් සිටියදී ඔහුගේ ආරක්ෂාවට විශේෂ පුහුණුවක් ලබාදුන් අය බවත් වාර්තා වේ.

ඊයේ පස්වරුව වන විට එම 50 දෙනා වහාම ඇමැති ආරක්ෂක කොට්ඨාසයට වාර්තා කිරීමට පියවර ගෙන ඇති අතර මේ හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ කුරුණෑගල පැවැත්වීමට තිබූ රැලියක්ද හදිසියේ අවලංගු කිරීමට සිදුවූ බව උදිත ලොකුබණ්ඩාර මහතා පැවැසීය.

දින 06ක් ඇතුළත හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂකයන්ගේ සංඛ්‍යාව 92කින් අඩු කළ අතර මේ වන විට ඉතිරිව ඇති ආරක්ෂකයන් ගණන 114ක් වේ.

Share on Google Plus