ෆොන්සේකාගේ මන්ත්‍රී ධූරයටත් තට්ටු වෙයිද?- තීන්දුව ජූලි 12.


එක්‌සත් ජාතික පක්‍ෂයේ සාමාජිකයකු නොවන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එක්‌සත් ජාතික පක්‍ෂ ජාතික ලැයිස්‌තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කිරීම අභියෝගයට ලක්‌ කරමින් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා විසින් ගොනුකර තිබූ පෙත්සම සලකා බැලීම සඳහා ලබන ජුලි 12 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (17 දා) නියෝග කළේය.එම පෙත්සම අගවිනිසුරු ප්‍රියසාද් ඩෙෆ්, සිසිර ද ආබෲ හා නලීන් පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට වෙනත් පක්‍ෂයකින් තරග කොට පරාජය වූ එජාප ජාතික ලැයිස්‌තු ලේඛනයේ නම් නොතිබූ සරත් ෆොන්සේකා මහතා ජාතික ලැයිස්‌තු මන්ත්‍රීවරයකු ලෙස පත්කිරීම එක්‌සත් ජාතික පක්‍ෂ ව්‍යවස්‌ථාව උල්ලංඝනය කිරීමක්‌ බව පෙත්සම්කරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී තිබුණි.

වෙනත් පක්‍ෂයකින් තරගකොට පරාජයට පත්වූ අයකු එක්‌සත් ජාතික පක්‍ෂ ජාතික ලැයිස්‌තු මන්ත්‍රීවරයකු ලෙස පත්කිරීම එම පක්‍ෂය වෙනුවෙන් ඡන්දය භාවිත කළ පාක්‍ෂිකයින් ඇතුළු රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්‌ සේම එය ජනතාවගේ සර්වජන ඡන්ද අයිතියට කළ බලවත් හානියක්‌ යෑයි ද පෙත්සම්කරු සිය පෙත්සම මගින් පෙන්වා දී තිබුණි.

එබැවින් එම පත්කිරීම එජාප පක්‍ෂ ව්‍යවස්‌ථාව උල්ලංඝනය කළ නීතිවිරෝධී පත්කිරීමක්‌ බවට නිගමනය කරන ලෙසත් එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ එම පක්‍ෂයේ මහ ලේකම් කබීර් හෂීම්, සරත් ෆොන්සේකා, මැතිවරණ කොමසාරිස්‌වරයා හා නීතිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් ගොනුකර තිබූ එම පෙත්සම මගින් පෙන්වා දී තිබුණි.

Share on Google Plus