එජාපයේ ඉඟුරු කල්ලිය නායකයෙක් සොයයි.


පාර්ලිමේන්තුවේදී විපක්‍ෂයේ අසුන් ගැනීමට යන එක්සත් ජාතික පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රි කණ්ඩායමේ නායකත්වට සම්බන්ධ සුදුසු මන්ත්‍රිවරයකු තෝරාගැනීම සඳහා සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව දැනගන්නට ඇත.

මෙම මන්ත්‍රි කණ්ඩායමට මන්ත්‍රිවරු විසිදෙනකු පමණ අයත් වන බවට තොරතුරු වාර්තා වේ.

ඩඩ්ලි සේනානායක මහතාගේ 1965 ආණ්ඩුව කාලයේ එ.ජා.ප. මන්ත්‍රිවරුන් අතර ඉඟුරු කල්ලිය නමින් කණ්ඩායමක් සංවිධානය වී තිබූ අතර එදා එහි නායකයා ලෙස පෙනී සිටියේ පෙස්ටස් පෙරේරා මන්ත්‍රිවරයායි.

දැනට මාස කිහිපයක් තිස්සේ පැවැති සාකච්ඡා අවසාන කඩඉමට පැමිණ ඇතැයි ද කණ්ඩායම සඳහා නායකත්වය ලබා දීමට සුදුසු මන්ත්‍රිවරයකු තෝරාගත් වහාම එම කණඩායමේ ක්‍රියාකාරිත්වය සිදු කෙරෙන ආකාරය පිළිබඳ සැලසුම් සකස් කෙරෙන බවද පැවසේ.

කණ්ඩායමේ නායකත්වයට මන්ත්‍රිවරු සිවුදනකුගේ නම් යෝජනා වී ඇති බවද දැනගන්නට ඇත.

මේ අතර රාජ්‍ය ඇමැතිවරයකුගේ නමක්ද සාකච්ඡාවට භාජන වී ඇති අතර ඔහු මෙම මන්ත්‍රි කණ්ඩායමේ නායකත්වය භාර ගැනීමට ඉදිරිපත් වුවහොත් සිය ඇමැති තනතුර අත්හැරීමට සිදුවන බැවින් එසේ කිරීමට ඉඩ නොහැරිය යුතු බවට අදහස් පළ වී තිබේ.

තම ඇමැතිවරයා සමඟ අමාත්‍යාංශයේ කටයුතු කිරීමට අපහසුකම් නිසා එම රාජ්‍ය ඇමැතිවරයා දැඩි කලකිරීමට පත්ව සිටින බවට පසුගියදා ප්‍රසිද්ධියේ අදහස් පළ කර තිබිණි.

විපක්‍ෂයේ අසුන් ගැනීමට අපේක්‍ෂා කරන මන්ත්‍රි කණ්ඩායමේ නායකත්වයට අතුරලියේ රතන හිමි, නලීන් බණ්ඩාර ජයමහ, රංජිත් අලුවිහාරේ සහ අජිත් මාන්නප්පෙරුම යන මන්ත්‍රිවරුන්ගේ නම් යෝජනා වූ බවද දැනගන්නට ඇත.

මෙම කණ්ඩායම එ.ජා.ප. විකල්ප කණ්ඩායම වශයෙන් හැඳින්විය යුතු බවටද යෝජනා වී ඇති බව ද දැනගන්නට තිබේ.

Powered by Blogger.