UDA ඉඩම්වලට කුණු බැහැර කිරීම තහනම්.


මීතොටමුල්ල කසල කන්ද නායයාමෙන් විපතට පත්වූ සියලූම පවුල්වලට අපි පළමුවෙන්ම අපේ සාතිශය කණගාටුව පළකරනවා. කුණු කන්ද හා අවට භූමිය විධිමත්ව පුනරුත්තාපනය කිරීම සඳහා  ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ පූර්ණ සහය ඇතිව කටයුතු කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය ඉදිරිපත් වී සිටියි. එමෙන්ම මේ වන විට නිවාස 69 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වේ. ඒ සෑම නිවසක් වෙනුවෙන්ම රජයේ ආධාර හිමිවන්නේ නම් නව නිවසක් ලබාදීමට කඩිනමින් පියවර ගන්නා බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. පසුගිය පෙබරවාරි මාසයේ මීතොටමුල්ල කුණු කන්ද සම්බන්ධයෙන් විශේෂ කැබිනට් පත‍්‍රිකාවක් මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ඉදිරිපත් කළේ ය. ඒ අනුව මීතොටමුල්ල කුණු කන්දට කුණු බැහැර කරලීම අත්හිටුවීමටත් ඒ සඳහා විකල්ප ස්ථාන හඳුනාගන්නා ලෙසත් කොළඹ මහනගර සභාවට උපදෙස් දී ඇත.

කෙසේ වෙතත් එළඹෙන මැයි මස පළමුවනදා (1) සිට නාගරික සංවර්ධන අධිකාරියට අයත් රජයේ කිසිඳු ඉඩමකට කුණු බැහැර කරලීම තහනම් කිරීමට එම අධිකාරිය තීරණය කර ඇත. යම් නගර සභාවකට, ප‍්‍රාදේශීය සභාවකට හෝ රජයේ ආයතනයකට කුණු බැහැර කරලීමට භූමියක් අවශ්‍යවන්නේ නම් එම ආයතන සතු ප‍්‍රතිපාදනවලින් අදාල වියදම පියවීමට සිදුවන බව ද එම අධිකාරිය වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සිදුකළ ප‍්‍රකාශයක් පහත දක්වා ඇත.

‘මේ අවස්ථාවේදී අපි කියන්න  ඕනේ ඇතැම් පිරිස් දේශපාලනඥයන්ට නොයෙක් දෙනාට චෝදනා කරන්න පටන් අරන් තියෙනවා. නිලධාරීන්ට චෝදනා කරන්න උත්සාහ කරනවා, රාජ්‍ය ආයතනවලට චෝදනා කරන්න උත්සාහ කරන්වා,නමුත් මේ ප‍්‍රශ්නය අද ඊයේ ඇති වෙච්ච ප‍්‍රශ්නයක් නොවෙයි. මම දන්න තරමින් දැන් දශක දෙකක් තිස්සේ මේ ප‍්‍රශ්නේ විසඳන්න මැදිහත් වෙච්ච සෑම අවස්ථාවකම එය වැළැක්වීලා ගියේ ඇතිකරපු දේශපාලන සහ ජනතා විරෝධතා නිසා.

අපිට මතකයි 1997 මේ ප‍්‍රශ්නය විසඳම සඳහා එවකට කොළඹ මහනගර සභාවේ සභාපති කරූ ජයසුරිය මැතිතුමාත්, ඒ වාගේම බස්නාහිර පළාත් සභාවේ මහඇමති හැටියට හිටපු සුසිල් පේ‍්‍රමජයන්ත මැතිතුමාත් ලෝක බැංකු ආධාරයෙන් මීපේ ප‍්‍රදේශයේ විධිමත් කසල රඳවනයක් හදන්න යෝජනාවක් ගෙනැල්ල විද්‍යාත්මක කසල රඳවනයක් කොළඹ නගරයට ඇතිකරන්න කි‍්‍රයාකලා. ඒකට ඒ ප‍්‍රදේශයේ අවිස්සාවේල්ල, හෝමාගම ආදී ප‍්‍රදේශවල සියලූම දේශපාලනඥයෝ පක්ෂ භේදයකින් තොරව නැගී ඉඳලා කොළඹ කුණු අපිට එපා කියලා විශාල උද්ඝෝෂණයක් ගෙනැල්ලා අවසානයේ ලෝක බැංකුව ඒ ව්‍යාපෘතිය අත්හැර දැමුවා.

එකේ ප‍්‍රතිඵලයක් හැටියට තමයි බ්ලූමැන්ඩල්වල විශාල කුණු කන්දක් 1997 පටන් ගොඩනැගුනේ. ඒ බ්ලූමැන්ඩල් කුණු කන්දත් නායයෑමට ලක්වෙලා, ජල දුෂණයට ලක්වෙලා, කැළණි ගඟ විනාශ වෙලා, සාගරයේ ජලය විනාශ වෙලා අපිට විශාල පරිසර විපතියක් ඇතිවුනාට පස්සේ පරිසර අමාත්‍යවරයා හැටියට මමත් ඉදිරිපත් වෙලා ශ්‍රේෂ්ඨාධිකරණයේ අග‍්‍රවිනිශ්‍යකාරතුමත් ඉදිරිපත්වෙලා ඉතාම අපහසුවෙන් ඒ කුණු කන්ද අපි නතර කලා. නමුත් ඒ සඳහා විකල්පයක් ලෙස අපි වග ප‍්‍රදේශයේ වනගත ප‍්‍රදේශයක විද්‍යාත්මක කසල රඳවනයක් හදන්න මධ්‍යම පරිසර අධිකාරියේ උදවුවෙන් අපි කොයිකා ආයතනය මුල්වෙලා කටයුතු කළා. නමුත් ඒ ප‍්‍රදේශයේ දේශපාලනඥයින් කොළඹ කුණු අපිට එපා කිව්වා,විතරක් නෙවෙයි ඒ ප‍්‍රදේශයේ එවකට හිටිය නාගරික සංවර්ධන ඇමතිවරයා, නාගරික සංවර්ධන ප‍්‍රදේශයක් හැටියට නම්කරලා ඒ ප‍්‍රදේශයේ කසල ගෙනයාම සම්පුර්ණයෙන් නීති විරෝධී කළා.

අන්න එකේ ප‍්‍රථිපලයක් හැටියට තමයි මීතොටමුල්ලේ කුණුකන්දක් ඇතිවෙන්නේ. ඊට පස්සේ එදා ඉඳන් තිබ්බ වැදගත් යෝජනාවක් තමයි පුත්තලමේ සිමෙන්ති සඳහා පාවිච්චි කරන හුණුගල් කණින අගල් වලට මේ කසල කන්දෙ කුණු ගෙනිහින් දමන්න. නමුත් ඒ ව්‍යාපෘතියටත් පරිසර විරෝධතා එල්ල වුනා, ඒ වගේම දේශපාලන විරෝධතාත් එල්ලවෙලා ඒකත් අඩපණ උනා.

අපි 2015 දෙසැම්බර් මාසයේ කොළඹ මනනගර සභාවට දැනුම් දුන්නා මීතොටමුල්ලට කුණු දාන්න එපා විකල්ප ස්ථාන හොයන්න කියලා. ඒ අනුව ඒගොල්ලෝ දැන්වීමක් පලකරලා විකල්ප ස්ථාන කිහිපයක් හොයාගෙන තියෙනවා. නමුත් ඒ ස්ථානවලත් විරෝධතා ඇතිවෙච්ච නිසා ඒගොල්ලන්ට ඒ කසල ගෙනියන්න බැරිවුනා. ජනතාවගේ හැඟීම් අවුස්සලා කොළඹ කුණු අපිට එපා කියන සටන් පාඨයට කරන්න පුළුවන් එකම දේ තමයි බ්ලූමැන්ඩල්, මීතොටමුල්ල හැදුවා වගේ තවත් තැන් කිහිපයක කසල කඳු හදන එක තමයි අවුරුදු ගානකට කරන්න පුළුවන්. ඒ වාගේම මෙතන තියෙනවා මුල්‍ය ප‍්‍රශ්නයකුත්. විද්‍යාත්මක ආකාරයකට කසල විධිමත්ව සකස් කරන්න, ප‍්‍රතිචකී‍්‍රයකරණය කරන්න මුදලක් වැයවෙනවා. සෑම කසල කිලෝවකටම රුපියල් 7 ත්, 10 ත් අතර වැයවෙනවා. මේක ගෙවන්න කිසිම ආයතනයක් නැහැ. අන්න ඒකත් මේ කසල කළමනාකරණයේදී ලොකු ප‍්‍රශ්නයක් වෙලා තියෙනවා.

ඒ වාගේම මේ නීතිය සම්බන්ධයෙනුත් ප‍්‍රශ්නයක් තියෙනවා කසලවල වගකීම තියෙන්නේ අදාළ පලාත් පාලන ආයතනයට. කොළඹ මහනගර සභාවට තමයි කොළඹ කසලවල වගකීම තියෙන්නේ. ඊළඟට ඒ මහනගර සභාව බලාගන්න පළාත් සහාව තියෙනවා, පළාත් සභාවෙත් කසල කළමනාකරණ අධිකාරියක් තියෙනවා, ඒ වාගේම පළාත් පාලන, පළාත් සභා අමාත්‍යංශය තියෙනවා.

කොළඹ නගර සභාව වගේ තැනක ගත්තාම කොළඹ නගරයේ ජීවත්වන්නේ 650,000 යි. දිනපතා දසලක්ෂයක් කොළඹට පිටතින් හැම පළාතෙන්ම ජනතාව එනවා. විදේශිකයොත් එනවා. ඒ නිසා කොළඹ කසලවල වගකීම රටේ වගකීමක්, ඒක හැමදෙනාම අවබෝධකරගෙන කටයුතුකරන්න  ඕනේ. විරෝධතාවලින් වෙන්නේ තැන තැන තවත් කසල කඳු ගොඩගැහෙන එකයි. ඒ නිසා අපේ අමාත්‍යාංශයෙන් දැනට කරදියාන, ඒ වාගේම ගම්පහ කසල සඳහාත්,කොළඹ කසල සඳහාත් අවශ්‍යකරන ටෙන්ඩර් කැඳවලා විධිමත් ටෙන්ඩර් පටිපාටියකට අනුව අදාළ ආයතනවලට බාරදීලා තියෙනවා. නමුත් ඒවා විධිමත්ව කසල කළමනාකරණයට පත්කරන්න පුළුවන් තත්වයට ගන්න තවත් වසර දෙකක පමණ කාලයක් ගතවෙනවා.

එතෙක් කොළඹ කසල කොහේ හරි විධිමත්ව අපහරණය කළයුතුමයි මේ ක‍්‍රියාදාමය එනකන්. ඒ සඳහා විරෝධතාවලින් ඒක කරන්න බෑ. අපි සියලූ දෙනා එක්වෙලා මේ ප‍්‍රශ්නය විසඳිය යුතුයි. නැත්නම් මීතොටමුල්ලේ වගේ ඛේදවාචක පියවරෙන් පියවර අනිත් ස්ථානවලත් ඇතිවීම වලක්වන්න බෑ.

මිට මාස කිහිපයකට කලින් කැබිනට් මණ්ඩලයට සන්දේශයක් දාලා මීතොටමුල්ලට තවදුරටත් කුණු දාන්න බෑ, ඒ නිසා වෙනත් ස්ථානයකට කසල ගෙනියන්න කියලා අපි යෝජනා කලා. ඒවාගේම මීතොටමුල්ල කසල කන්ද අවට ප‍්‍රදේශය නාගරික උද්‍යානයක් හැටියට අපි සංවර්ධනය කරනවා. බ්ලූමැන්ඩල් කුණුකන්දත් අපි නාගරික උද්‍යානයක් හා වරායට ආශ‍්‍රිත ඒ ප‍්‍රසම්පාදන නගරයක් හැටියට ඒ ප‍්‍රදේශය දියුණුකරන්න බලාපොරොත්තු වෙනවා.

මේක ස්වාභාවික විපතක් නෙවෙයි. මේක සමාජයේ ඇතිවෙච්ච ප‍්‍රශ්නයක් එක්ක ඇතිවෙච්ච ක‍්‍රියාවලියක්. මිනිස්සු දිගටම කිව්වා මෙතනට කුණු ගේන්න එපා කියලා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් රජයට වගකීමක් තියෙනවා. ඒක නිසා ඒ අනුව රජය ක‍්‍රියාකරනවා.’’

Share on Google Plus