මීතොටමුල්ල ඛේදවාචකයට සාගලගේ මැදිහත්වීමෙන් විසඳුම් රැසක්.


මීතොටමුල්ල කුණු කන්ද නායයෑමෙන් අනතුරුව ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (14) රාත්‍රියේ සිටම නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා සොයා බැලීය.

මීට අමතරව ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ නිර්දේශ පරිදි සාගල රත්නායක අමාත්‍යතුමන් අද (15) උදෑසන මීතොටමුල්ල ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකටද එක්වුණා. එහිදී පළමුවෙන්ම අමාත්‍යවරයා මීතොටමුල්ල දහම්පුර ශ්‍රී රාහුල විද්‍යාලයේ පිහිටා තිබෙන මෙහෙයුම් මැදිරිය වෙත ගොස් දැනට සිදුකෙරෙන මෙහෙයුම් කටයුතු පිලිබදව සහ ඉදිරියේදී සිදුකිරීමට නියමිත මෙහෙයුම් කටයුතු පිළිබදවද සොයා බැලීමක නිරතවිය. එම සිදුවීමේ යථාතත්වය පිළිබද සාකච්ජාවකට අමාත්‍යවරයා එක්වූ අතර එම සාකච්ජාවට යුද හමුදාපතිතුමන් සහ පොලිස්පතිතුමන් ඇතුලු එම ආරක්ෂක අංශවල ජේෂ්ඨ නිලධාරින්ද එක්ව සිටියේය. එහිදී අමාත්‍යවරයා විසින් ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔවුන්ට පැහැදිලිකර සිටියේය.

එසේම අවතැන්වූ ජනතාව හමුවී ඔවුන් සමගද අදහස් හුවමාරු කරගැනීමක නිරත විය. පසුව ගරු අමාත්‍යතුමන් පොලිස්පතිතුමන් සහ යුද හමුදාපතිතුමන් සමගද උද්ගතවී ඇති තත්වය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද කෙටි සාකච්ජාවන්හි නිරතවූ අතර ඉන් අනතුරුව කුණු කන්ද නායගොස් ඇති ස්ථානයටම ගොස් නිරීක්ෂණය කිරීමට කටයුතු කළේය.

එහිදී මෙම සිදුවීමෙන් විපතට පත්වූ කිහිපදෙනෙකු පැමිණ අමාත්‍යතුමන් සමග සාකච්ජාවකද නිරත විය. එහිදී අමාත්‍යතුමන් පොලිස්පතිතුමන්ට සහ යුද හමුදාපතිතුමන් ඇතුලු ජේෂ්ඨ නිලධාරීන්ට උපදෙස් ලබාදෙනු ලැබුවේ විපතට පත්වූ ජනතාවගේ නිවෙස්වල තිබෙන බඩු භාණ්ඩ ඉවත්කර ගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක්  සකස් කරන ලෙසත් ඒ සඳහා හමුදාවේ සහ පොලීසියේ දායකත්වය නිසි පරිදි ලබාදෙන ලෙසත්ය. එම අවස්ථාවේදී යුද හමුදාපතිතුමන්ගේ උපදෙස් පරිදි යුද හමුදා නිලධාරීන් එම කටයුතු ආරම්භ කරනු ලැබීය.

 එමෙන්ම කුණු කන්ද නායගොස් ඇති ස්ථානයේ ගොඩගැසී ඇති පස් සහ කුණු කසල එම ස්ථානයෙන් ක්‍රමවත්ව ඉවත්කිරීම සදහා අවශ්‍ය පියවර ඉක්මනින් ගැනීමටද ගරු සාගල රත්නායක අමාත්‍යතුමන් එම නිලධාරීන් සඳහා උපදෙස් ලබාදුන්නේය.

පසුව හමුදාපතිතුමන් සහ පොලිස්පතිතුමන් සමග පැවති තවත් කෙටි සාකච්ජාවකින් පසු ගරු අමාත්‍යතුමන් එම ස්ථානයෙන් පිටත්ව ගියේ ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ඒ මොහොතේ පැවැත්වෙමින් තිබූ විශේෂ සාකච්ජාව සඳහා සහභාගිවීම සඳහාය.

ගරු අමාත්‍යතුමන් උදෑසන 08.30 සිට උදෑසන 09.30 දක්වා පැයකට අධික කාලයක් එම ස්ථානය නිරීක්ෂණය කරමින් රැඳී සිටි අතර පසුව ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රමූලිකත්වයෙන් පැවති රැස්වීමට සහභාගීවෙමින් ගරු අමාත්‍යතුමන් මීතොටමුල්ල කසල කන්ද නායගිය ස්ථානයේ තත්වය සහ එය නිරීක්ෂණයේදී ගනු ලැබූ තීරණ එම සාකච්ජාවට දැනුම්දෙනු ලැබුවේය. එම අවස්ථාවට ගරු අග්‍රාමාත්‍යතුමන් දුරකථනය ඔස්සේ සම්බන්ධවෙමින් ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදවද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා දැනුවත් කරනු ලැබීය.

Share on Google Plus