කරදියානට කුණු දැමීමටත් බාධා.


කොළඹ කැළිකසළ බොරලැස්‌ගමුව කරදියාන ප්‍රදේශයට මුදා හැරීමට කැස්‌බෑව අධිකරණයෙන් ලබා දී තිබෙන සති දෙකක කාලය දීර්ඝ නොකරන ලෙස අද (19 වැනිදා) එම අධිකරණයෙන් ඉල්ලීමක්‌ කරන බව බස්‌නාහිර පළාත් එක්‌සත් ජාතික පක්‌ෂ මන්ත්‍රී නිරෝෂන් පාදුක්‌ක මහතා ඊයේ (18 දා) පැවසීය.

මෙම ඉල්ලීම කිරීම සඳහා කැස්‌බෑව ප්‍රාදේශීය ලේකම්, කරදියාන කමිටුව, සිවිල් සංවිධාන නියෝජිතයන් සහභාගි වන බවද ඒ මහතා කීය.

කොළඹ කසළ ඉවත් කිරීමට තැනක්‌ නොමැති වීමෙන් ජාතික ගැටලුවක්‌ ඇති වී තිබෙන බවත් ඒ සඳහා කැස්‌බෑව අධිකරණය මඟින් සති දෙකක කාලයක්‌ සඳහා කසළ කරදියාන ප්‍රදේශයට බැහැර කිරීමට අවසර ලබා දී ඇති බවත් හෙතෙම කීය.

හදිසි අවස්‌ථාවක්‌ ලෙස සලකා අධිකරණයෙන් ලබා දී තිබෙන මෙම නියෝගය තවදුරටත් දීර්ඝ නොකරන ලෙස ඉල්ලා සිටීමට සිවිල් සංවිධාන ඇතුළු කරදියාන ප්‍රදේශයේ සියලු දෙනා තීරණය කර තිබෙන බවද ඒ මහතා කීය.

පැවැති රජය සහ වත්මන් රජය කුණු ප්‍රශ්නයට ස්‌ථිර විසඳුමක්‌ ලබාදීමට නොහැකි වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස මීතොටමුල්ල කන්ද නාය ගොස්‌ ජීවිත රැසක්‌ අහිමි වූ බව කියා සිටි මන්ත්‍රීවරයා නිසි ආකාරයට තාක්‌ෂණය උපයෝගී කරගෙන විසඳුමක්‌ ලබාදෙන ආකාරයක්‌ තවමත් පෙනෙන්නට නැති බවද කීය.

Powered by Blogger.