මාතලේ එජාප කණ්ඩායමක් කැරැලි ගසයි.


එළැඹෙන පළාත් පාලන ඡන්දයේදී මාතලේ දිස්ත්‍රික්කයේ සියලුම පළාත් පාලන ආයතන සඳහා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කණ්ඩායමක් ස්වාධීනව තරග කර බලය අල්ලා ගැනීමට යයි. මාතලේ නගර සභාවේ බලය අත්පත් කර ගැනීම සඳහා නගර සභාවේ හිටපු විපක්ෂ නායක ඩල්ජිත් අලුවිහාරේ මහතාගේ (එජාප) නායකත්වය යටතේ ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට තීරණය වී ඇති බව දැනගන්නට ඇත.

දිස්ත්‍රික්කයේ සෑම පළාත් පාලන ආයතනයක් සඳහාම ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කර පළාත් පාලන ආයතනවල බලය අත්පත් කර ගැනීමේ අරමුණෙන් එජාප හිටපු පළාත් පාලන නියෝජිතයන් සාකච්ඡා පවත්වා ඇති බවද දැනගන්නට ඇත. මාතලේ ජනතාව යහපාලන රජය කෙරෙහි දැඩි කලකිරීමකින් පසුවන බැවින් ඔවුන් එක්සත් ජාතික පක්ෂයෙන් අෑත් වෙමින් සිටින බවත් ඉදිරි පළාත් පාලන ඡන්දයේදී ස්වාධීනව තරග කරන ලෙස තමාට බල කෙරෙන පසුබිමක් දැනට වසරක පමණ කාලයක පටන් නිර්මාණය වෙමින් පැවැතුණු බවත් ඩල්ජිත් අලුවිහාරේ මහතා පැවැසීය.

ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස්ද මේ ඉල්ලීම තමා වෙත අවස්ථා කිහිපයකදීම ඉදිරිපත් කර ඇති බව සඳහන් කළ අලුවිහාරේ මහතා දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඉල්ලීමට ඇහුම්කන් දීමට තමාට සිදුවී ඇති බවද පැවැසීය.

මාතලේ දිස්ත්‍රික්කයේ සියලුම පළාත් පාලන ආයතන සඳහා මෙලෙස ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කර දිස්ත්‍රික්කයේ බලය තහවුරු කර ගැනීමට නායකත්වය ලබාදෙන ලෙසද දිනපතාම පාහේ ඉල්ලීම් ඉදිරිපත් වන බවද අලුවිහාරේ මහතා සඳහන් කෙළේය.

යහපාලන ආණ්ඩුවේ සහ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ ක්‍රියාකලාපය පිළිබඳව මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාව අතර දැඩි අප්‍රසාදයක් මෙන්ම කලකිරීමක් හටගෙන ඇති බැවින් හැම විටම ජනතාවත් සමඟ සිටින තමා දිස්ත්‍රික්කය පුරා පවතින මේ තත්ත්වය පිළිබඳව ප්‍රසිද්ධියේ මාධ්‍යයට කරුණු දැක්වීමෙන් පසු මේ සම්බන්ධව ජනතා ඉල්ලීම් ඉදිරිපත් වීමේ වැඩි ප්‍රවණතාවක් ඇතිවී තිබෙන බවද ඩල්ජිත් අලුවිහාරේ මහතා කීය.

මාතලේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 13ක් වෙයි. ඒ අතරින් දඹුල්ල සහ මාතලේ මහ නගර සභා වශයෙන් ක්‍රියාත්මක වෙයි.

පල්ලෙපොළ, ගලේවෙල, දඹුල්ල, අඹන්ගඟ කෝරලේ, නාඋල, ලග්ගල - පල්ලේගම, විල්ගමුව, මාතලේ, යටවත්ත, උකුවෙල සහ රත්තොට වශයෙන් ප්‍රාදේශීය සභා 11ක් පවතී.

Share on Google Plus