මෛත්‍රීයි මහින්දයිත් වාහන ආනයන බලපත්‍ර පාවිච්චි කරලා. - Info Sri Lanka News | Sinhala

මෛත්‍රීයි මහින්දයිත් වාහන ආනයන බලපත්‍ර පාවිච්චි කරලා.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන බද්දෙන් නිදහස් වාහන ආනයන බලපත්‍ර භාවිතා කොට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දෙදෙනා ද සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් ගෙන්වා ගෙන ඇතැයි අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති ලියැකියැවිලිවලින් හෙළි වේ.

රේගු කටයුතු සඳහා ඔවුන් දෙදෙනා ඉදිරිපත් කර ඇති ප්‍රකාශනවලට අනුව, එකක් රු. මිලියන 40කට අධික වටිනාකමකින් යුත් මෝටර් රථ දෙකක් ඔවුන් දෙදෙනා ගෙන්වාගෙන ඇත්තේ තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙසින් දක්වා සිටිමිනි.

කෙසේ වෙතත්, 2015 නොවැම්බර් 20 වැනිදා මුදල් ඇමති රවී කරුණානායක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මූල්‍ය ප්‍රතිපත්ති වාර්තාවේ කියැවුනේ, පසුගිය රජය යටතේ මෙම වාහන ආනයන බලපත්‍ර හේතුවෙන් රජයට අහිමි වූ ආදායම වසරකට රු. බිලියන 40ක් බවයි.

දූෂණයෙන් ගහන මෙම බලපත්‍ර නිකුත් කිරීම නවතා දැමිය යුතු බවට එමඟින් යෝජනා කෙරිණ.

නමුත්, තම මූල්‍ය ප්‍රතිපත්ති වාර්තාව උල්ලංඝණය කළ රජය 2016 පෙබරවාරි සිට මන්ත්‍රීවරුන් 225 දෙනා වෙනුවෙන් බද්දෙන් නිදහස් වාහන ආනයන බලපත්‍ර ලබා දුන්නේය.

මේ සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශණයකදී හෙළි වූයේ, රු. මිලියන 25ක අවම මිලකට මන්ත්‍රීවරුන් මෙම බලපත්‍ර විවෘත වෙළෙඳපොලේ අලෙවි කරන බවත්, ඒවා මිල දී ගත් අය සියයට 300ක් ලෙසින් රජයට ගෙවිය යුතු බදු කිසිවක් ගෙවීමකින් තොරව මිල අධික වාහන ගෙන්වන බවත්ය.

මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට 2014 දෙසැම්බර් 11 වැනිදා පැමිණිල්ලක් ලැබුණු නමුත් එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා 2015 මාර්තු 04 වැනිදා කියා සිටියේ, මන්ත්‍රීවරුන්ට බද්දෙන් නිදහස් වාහන ආනයන බලපත්‍ර ලබා දීම රාජ්‍ය ප්‍රතිපත්තියක් නිසා ඊට එරෙහිව කටයුතු කළ නොහැකි බවයි.

ඉන් පසුව, 2016 අගොස්තු 26 වැනිදා දෙවැනි වරට ද පැමිණිල්ලක් ගොනු කරනු ලැබූයේ අදාළ සාක්ෂි ද සමඟයි.

ඒ සම්බන්ධයෙන් ද කිසිදු පියවරක් නොගත් නිසා, අල්ලස් කොමිසම, එහි සාමාජිකයින් හා මන්ත්‍රීවරුන් වගඋත්තරකරුවන් ලෙසින් දක්වමින් 2016 දෙසැම්බර් 19 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කරනු ලැබීය.

එය විභාගයට ගත් අවස්ථාවේ නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේ පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශණ සිදු කරනු ඇති බවයි.

නඩුව විභාගයට ගැනීම මැයි 09 වැනිදා දක්වා කල් තබනු ලැබීය.

(SLM)

Share on Google Plus