මීතොටමුල්ලට චම්පික ඉසුර යලිත් ඇවිලේ.


මීතොටමුල්ල කසළ කන්දට විසඳුමක්‌ ලබා දීමට ඉදිරිපත් වූ එංගලන්ත සමාගමට හැකියාවක්‌ නැතැයි මහ නගර සහ බස්‌නාහිර සංවර්ධන ඇමැති චම්පික රණවක මහතා කළ ප්‍රකාශය තමා එකහෙළා ප්‍රතික්‍ෂේප කරන බව බස්‌නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ඊයේ (19 දා) පැවැසීය.කසළ කන්දට විසඳුමක්‌ ලබා දීමට ඉදිරිපත් වූ එංගලන්ත සමාගම සම්බන්ධයෙන් නිරීක්‍ෂණය කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා සහ ඒ සම්බන්ධ දැනුමක්‌ තිබෙන තාක්‍ෂණික කණ්‌ඩායමක්‌ එංගලන්තයට ගොස්‌ මීතොටමුල්ලට එය ගැලපෙන බවට නිර්දේශ කළ බව ද ඊයේ ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් මහ ඇමැතිවරයා පැවැසීය.

එම නිසා මහා නගර සහ බස්‌නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් පෙරේදා (18 දා) නිවේදනයක්‌ නිකුත් කරමින් එංගලන්ත සමාගමට එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක්‌ නැතැයි කීම ප්‍රතික්‍ෂේප කරන බවද හෙතෙම කීය.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අක්‌කර තුනක්‌ නොව පර්චස්‌ 60 ක්‌ ලබා දීම මහා නගර හා බස්‌නාහිර සංවර්ධන අමාත්‍යාංශය කටයුතු නොකළ බව ද තමා නැවත කියන බවද ප්‍රධාන අමාත්‍යවරයා කීය.

කෙසේ වෙතත් මීතොටමුල්ල කුණු කන්දට විසඳුමක්‌ ලබා දීම සඳහා මහා නගර සහ බස්‌නාහිර සංවර්ධන අමාත්‍යාංශයට මාස හයක කාලයක්‌ ලබාදීමට ඊයේ ජනපති, අගමැති හා ඇමැතිවරුන් කිහිපදෙනෙකු සමඟ කළ සාකච්ඡාවේදී උපදෙස්‌ දුන් බව ද මහ ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.

Powered by Blogger.