ශ්‍රී ලංකා සෙන්පතියකු හයිටියේ බාල අපචාරයේ.


සාම සාධක රාජකාරියේ යොදවා සිටියදී බාල වයස්කාර දරුවන් ලිංගික දූෂණයට ගොදුරු කරගත් ශ්‍රී ලාංකික හමුදා නිලධාරීන් පිරිසක් පිළිබඳ විස්තර ඒ ළමුන් විසින් එක්සත් ජාතීන් වෙත ලබා දී තිබෙන බව හෙළිදරව් වී තිබේ.

අඩුම වශයෙන් ශ්‍රී ලාංකික සොල්දාදුවන් 134 දෙනකු 2004 සිට 2007 දක්වා කාල පරිච්ඡේදය තුල ලිංගික අපහරණයට යොදා ගැනීම සඳහා හයිටියේ දරුවන් නම දෙනකුගේ කණ්ඩායමක් පවත්වාගෙන ගිය වග එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පැවැත්වූ විමර්ශනයකින් හෙළිවී තිබෙන බව ඇසෝසියේටඩ් ප්‍රෙස් (AP) පුවත් සේවය වාර්තා කරයි.

ලිංගික අපයෝජනය සඳහා ඒ දරුවන් හමුදා නිලධාරීන් විසින් අතින් අත යවා තිබෙන අතර එක් පිරිමි ළමයකු කියන පරිදි ඔහු අපයෝජනයට ලක් කළ ශ්‍රී ලාංකික සෙබළුන් සංඛ්‍යාව සියයකට අධිකය.

V02 යන සංකේත නාමයෙන් එක්සත් ජාතීන් විසින් හඳුන්වා දෙනු ලබන 16 වැනි වියේ පසුවූ එක් තරුණියක්  පවසා ඇත්තේ ඇය ශ්‍රී ලංකා හමුදාවේ අණදෙන නිලධාරියකු විසින් අඩුම වශයෙන් තුන් වතාවක් ලිංගික වශයෙන් යොදා ගන්නා ලද බවය.

තරබාරු, උඩු රැවුල වැවූ රන් මුද්දක් පැළඳ සිටි අයකු වන ඔහු භාර්යාවගේ පින්තුරයකුත් නිතර පෙන්වූ බව ඇය පවසා තිබේ.

V03 යනුවෙන් හඳුන්වනු ලැබූ දැරිය විසින් ශ්‍රී ලංකාවේ හමුදා භටයන් 11 දෙනකු ඡායාරූප වලින් හඳුනාගෙන ඇති අතර ඉන් එක් අයකුගේ කිහිල්ලත් ඉනත් අතර වෙඩි උණ්ඩයක “සුවිශේෂ” කැළලක් ඇතැයි ඒ දැරිය කියා තිබේ.

විසි දෙනකුට වැඩි ශ්‍රී ලාංකික සොල්දාදුවන් විසින් තමන් ලිංගික අපයෝජනයට ලක් කළ බව එක්සත් ජාතීන්ගේ විමර්ශනයට කී පිරිමි දරුවකු පවසා ඇත්තේ තමන්  ට්‍රක් රථයකට නංවා ගැනීමට පෙර ඒ අතරින් බොහෝ දෙනා තමන්ගේ නම් සහිත මාල පදක්කම් ගලවා ඉවත් කළ බවයි.

ලිංගික අපචාර වලට ගොදුරු කරගත් ළමුන්ට හමුදා භටයන් සහ අණදෙන නිලධාරීන් විසින් ඒ වෙනුවෙන් හිලව්වට ලබා දී ඇත්තේ සොච්චම් මුදලක්, විස්කෝතු, කැවිලි හෝ පලතුරු බීම වැනි දේය.

“මේ වින්දිතයන් නම දෙනා විසින් විස්තර කරන ලද ලිංගික ක්‍රියා මේ වාර්තාවේ දක්වන්නට නොහැකි තරමට විශාල සංඛ්‍යාවකි.

විශේෂයෙන්ම, වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකා සෙබළුන් යොදවා සිටි විවිධ ස්ථාන වලදී ලිංගික වශයෙන් සම්බන්ධතා පැවැත්වූවන් ගණනාවක් පිළිබඳව හැම කෙනකුම පවසන නිසාය,” යි එක්සත් ජාතීන්ගේ වාර්තාවේ සඳහන් වන බව AP පුවත් සේවය වාර්තා කරයි.

එක්සත් ජාතීන්ගේ විමර්ශනය අවසානයේ ශ්‍රී ලංකාවේ හමුදා භටයන් 114 දෙනකු ආපසු යවන ලදී.

එහෙත්, ඒ කිසිවකුත් සිර දඬුවම් නොලද බව වාර්තාව සඳහන් කරයි.

ශ්‍රී ලංකා යුද හමුදාව පවසන්නේ අභ්‍යන්තර පරීක්ෂණයකින් අනතුරුව බලකායේ අණදෙන නිලධාරියා සේවයෙන් ඉවත්කළ බවත් හමුදා සාමාජිකයන් අට දෙනකුට එරෙහිව විනය පියවර ගත් බවත්ය.

“කිසිවකුත් නඩු පවරා නොමැති බැවින්” චූදිතයන්ට එරෙහිව  අධිකරණ ක්‍රියාමාර්ග ගෙන නැති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න බීබීසී යට පවසා තිබේ.

අනාගතයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සඳහා භට පිරිස් යැවීම කෙරේ තබා ඇති ශ්‍රී ලංකාවේ ආණ්ඩුව තබා ඇති මහත් බලාපොරොත්තු අතීත අපරාධකරුවන්ට එරෙහිව දඬුවම් පැමිණවීම සම්බන්ධයෙන් ලිහිල් පිළිවෙතක් අනුගමනය කිරීම නිසා අභියෝගයට ලක්වී තිබේ.

එක්සත් ජාතීන්ගේ විමර්ශනයෙන් හෙළිකෙරෙන ලිංගික සුරාකෑම් සම්බන්ධයෙන් චෝදනා ලබන හමුදා නිලධාරීන් ට දඬුවම් කිරීමට කටයුතු නොකරන  ආණ්ඩු වලට එරෙහිව එක්සත් ජාතීන් විසින් පියවර ගනු ඇති බවට ඇමරිකා එක්සත් ජනපදය අනතුරු අඟවා තිබේ.

“තමන්ගේ සොල්දාදුවන් වගවීමෙන් බැඳ තබා ගැනීමට කටයුතු නොකරන රටවල් දැනගත යුතු කාරණයක් වන්නේ මේ වැඩේ නවතින්නේ නැතිනම්, ඔවුන්ගේ හමුදා ගෙදර යවා දෙනු ලබන මුදල් අත් හිටුවන බවයි,”  යනුවෙන් එක්සත් ජාතීන්ගේ ඇමරිකානු තානාපතිනි නිකී හේලි ආරක්ෂක මණ්ඩලය හමුවේ දැඩි ලෙස කියා සිටියාය.


(radiogagana)

Powered by Blogger.