GSP+ ආයෙත් නැතිවෙයිද?

ශ්‍රී ලංකාවට යළිත් වරක් ජීඑස්පී ප්ලස් (GSP+) තීරු බදු සහනය ලබාගැනීමට නම් ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිය වෙනුවට වෙනත් නීතියක් සම්මත කළ යුතු බව යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අගමැති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකරමින් අවධාරණය කර තිබේ.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව දණ්ඩ නීති සංග්‍රහය වහාම සංශෝධනය කළ යුතු බව ඔවුන්ගේ තවත් නිර්දේශයකි.

යුරෝපා මන්ත්‍රීවරුන්ගේ ලිපියේ අඩංගු ප්‍රධාන කරුණු අතර:

  1. ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිය ඉවත්කිරීම
  2. අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම
  3. වැරදිකරුවන්ට දඬුවම් නොකිරීම සහ වද බන්ධන පැණවීම පිළිබඳව පියවර ගැනීම
  4. සමලිංගික සේවනය නීති විරෝධී බව දැක්වෙන වගන්තිය ඉවත්කිරීම

එම කරුණු සඳහන් කරමින් පසුගිය අප්‍රේල් 07 වෙනි දින අගමැතිවරයාට යැවූ එම ලිපියට අගමැතිවරයාගෙන් මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නැති බව කොළඹ පිහිටි යුරෝපා සංගමයේ තානාපති කාර්යාලය සඳුදා (අප්‍රේල් 17) නිකුත්කළ ට්විටර් පණිවුඩයක් මගින් ඉඟි කෙරේ.ජීඑස්පී ප්ලස් බදු සහනය ලබාගැනීම පිණිස අදාළ කොන්දේසි සපුරාලීමට ශ්‍රී ලංකාවට තවත් ඉතිරිව තිබෙන්නේ සති හතරක කාලයක් පමණක් බවත් එහි සඳහන් වේ.

යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිස යොමු කළ ලිපිය අගමැතිවරයා වෙත ලැබෙන්නට ඇතැයි විශ්වාස කරන බව සඳහන් කළ අගමැති කාර්යාලය භාර නියෝජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා, යුරෝපා සංගමය සමග පැවති සාකච්ඡාවලින් එකඟ වූ කරුණු ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියක ආණ්ඩුව නිරතව සිටින බව සඳහන් කළේය.

ආණ්ඩුව ඒ පිළිබඳව යුරෝපා සංගමය සමග නිරන්තර සංවාදයක නිරතව සිටින බවත් ඔහු පැවසීය.



Share on Google Plus