දශක දෙකකට පෙර කසල ගොඩට වැටුණු කොළඹ කසල අර්බුදයේ විසඳුම.


සිංහල අළුත් අවුරුදු දා රටම කම්පනයට පත් කරමින් මිනිසුන් විසින්ම ගොඩගසන ලද කොළඹ කුනු කන්ද මිනිස් හිස් මතට පුපුරා ගියේය. ලොව සුප්‍රසිද්ධ නගර අතර අද්විතීය තැනක වැජඹෙන කොළඹ නගරයට සුවිශේෂී ඓතිහාසික වැදගත්කමක් හිමිවේ. ලොව සමහර රටක ශ්‍රී ලංකාව හදුනා ගන්නේ කොළඹ නමින්ය.

කෙසේ වුවද ලෝකයේ උතුම් රටෙහි අගනගරයේ කුනු කන්දේ අමිහිරි සහ විශ්මය උපදවන කථාව දැන් ලෝකය පුරා ප්‍රචලිතය.
කොළඹ කුනු මුළුමහත් ජාතියේම හිස මත පැටවුනු මහා කසල ගොඩක් බවට පත්විය හැකි බව මින් පෙර කිසිවෙකු නොදුටුවේ දැයි මේ ගැන අසන දකින ලෝකය අපෙන් විමසනු ඇත. 

ඇත්ත වශයෙන්ම මෙම අර්බුදය නිවැරදිව දුටු පුද්ගලයෙකු එය කළමනාකරණය කිරීමේ දූරදර්ශී සැලසුමක් මින් දශක දෙකකට පෙර 1997 දී ඉදිරිපත් කළේය. ඒ එවකට කොළඹ පුරපතිවරයා වූ වර්තමාන කථානායක කරු ජයසූරිය මහතා ය. පුද්ගලික අංශය ද සම්බන්ධ කර ගනිමින් කොළඹ පවිත්‍ර කිරීමේ කඩිනම් වැඩසටහනක් ඇරඹූ හෙතෙම කසල ප්‍රශ්නයේ අනාගත අභියෝගය නිවැරදිව ග්‍රහණය කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ඉදිරිපත් කළ විසදුම රටට බරක් නොවූ අතිශය ප්‍රායෝගික එකකි.

ඔහු එදා ඉදිරිපත් කළ විසදුමට පූර්ණ වශයෙන් ආධාර දීමට ලෝක බැංකුව ඉදිරිපත් වූ බව අප දනිමු. අද පොළොවට උසුලා ගෙන සිටින්නට බැරි තරම් වූ මේ මහා කුනු කන්දේ බරට කර ගැසීමට එදා ලෝක බැංකුව ඉදිරිපත් වුණේ කරු ජයසූරිය මහතා නගරාධිපති නමැති තනතුරට පමණක් සීමා වූ භූමිකාවේ සිට ඇති කළ සබඳතාවය නිසාය. 

ප්‍රශ්නය කල් නොයවා විසඳා ගත යුත්තක් බව තේරුම් ගත් ඔහු එය ලෝක බැංකුවේ බලධාරීන්ට අවබෝධ කර දීමේ ප්‍රතිඵලයක් ලෙස විසදුමට අදාළ මූලික ලියකියවිලි කිහිපයක් ද හුවමාරු විය. 

මේ අනුව 100% සනීපාරක්ෂාව තහවුරු කළ විද්‍යාත්මක කසල රඳවනයක් මීපේ ප්‍රදේශයේ ඉදි කිරීමට සැලසුම් කෙරුණු අතර, එහිදී මතුපිට ජල මූලාශ්‍ර, භූගත ජලය, වායුගෝලය මෙන්ම පසෙහි සංයුතියට හානි නොවන ලෙස ලෝකයේ නවීන විද්‍යාත්මක ක්‍රමවේද මෙම කසල රඳවනය සඳහා යොදා ගැනීමට නියමිත විය.

චීනයේ බීජිං, ශැන්හයි, ඉන්දියාවේ බොම්බායි, බංගලාදේ‍ශයේ ඩකා වැනි කොළඹ මෙන් දස දහස් ගුණයකින් කැලි කසල එක් රැස්වන ආසියානු කලාපයේ අතිශය ජනාකීර්ණ නගර මධ්‍යන්හි මෙම විද්‍යාත්මක කසල රඳවනයන් ඉදි කර ඇත. පුළුල් ධාරිතාවකින් යුතු වූ බැවින් අති විශාල කසල ප්‍රමාණයක් පරිසර හිතකර ලෙස අවශෝෂණය කිරීමට එයට හැකි බව එදා පෙනී ගියේය. 

නමුත් මේ පිලිබඳ නිසි අවබෝධයකින් තොර වූ පිරිස් ඇතැම් පාර්ශවයන් විසින් පටු දේශපාලන න්‍යාය පත්‍ර ඔස්සේ මෙහෙයවනු ලැබීම අද මෙන්ම එදා ද සිදු විය. 

කොළඹ කුනු අපට එපා යන ගෝත්‍රික අදහසට දේශපාලන උත්තේජනයක් ද ලැබුනේ 1998 බස්නාහිර පළාත් සභා මැතිවරණය එළඹීමත් සමගය. හෝමාගම, අවිස්සාවේල්ල, මීපේ, පාදුක්ක ප්‍ර‍දේශවල මැතිවරණ වේදිකාවන්හි ප්‍රධාන මාතෘකාව වූයේ මීපේ කසල රඳවනයෙන් ගම් බිම් බේරා ගැනීමය. කසල රඳවනයට විරුද්ධවූ‍වන්ගේ තියුණු සටන් පාඨවලට උණුසුම් ජනතා ප්‍රතිචාර ලැබිණි. අගක් මුලක් නොදත් හිස් මිනිසුන් වේදිකා දෙදරවමින් ජනතා සිත්වල කොළඹ කුනුවලටත් වඩා කුනු කන්දල් පිරවූහ. 

අවසානයේ දී මීපේ කසල රඳවනය ඉදි නොකරන බවට ප්‍රධාන ඇමති අපේක්ෂකයන් ලවා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරවා ගැනීමට විරෝධතාකරුවෝ යුහුසුළු වූ අතර, ප්‍රධාන ඇමති අපේක්ෂකයන් ගණනාවක්ම එලෙස පොරොන්දු වෙමින් ප්‍රසිද්ධ ප්‍රකාශ සිදු කලහ. විසඳුමේ නිර්මාතෘවරයා වූ කරු ජයසුරිය මහතා ද එජාපයේ ප්‍රධාන ඇමති අපේක්ෂකයා වූයෙන් ඔහුට ද එම ඉල්ලිම ඉදිරිපත් විය. නමුත්, මනාප උදෙසා කසල ප්‍රශ්නයට දුන් දිගු කාලීන විසඳුම හකුලා ගැනීමට තරම් බලලෝභියෙකු නොවූ කරු ජයසූරිය මහතා කීවේ මීපේ ප්‍රදේශයේ කසල රඳවනය ඉදි කිරීමේ යෝජනාව ඉවත් කර ගැනීමට එකඟ විය නොහැකි නමුත්, ඉන් කිසිදු පරිසර හානියක් ඇති වීමට ඉඩ නොතබන බවට එකඟ විය හැකි බවය. 

කරු මහ ඇමති වුවහොත් හෝමාගම අවිස්සාවේල්ල පාදුක්ක මීපේ ප්‍රදේශයේ මිහිපිට අපායක් වනු ඇති බවට එම ප්‍රදේශවල පුළුල් ලෙස ප්‍රචාරය විය. 

එදා කරු ජයසූරිය මහතාට බස්නාහිර මහ ඇමති ධූරය අහිමි වූයේ ඡන්ද තුන්දහසකිනි. ඒ අනුව කරු ජයසූරිය මහතා සමගම කොළඹ කසල අර්බුදයට ගෙන ආ නවීන විද්‍යාත්මක දිගු කාලීන විසඳුම ද ඡන්ද තුන්දහසකින් පරාජයට පත් විය. එදා සිට ගෙවී ගිය දශක දෙක පුරාම ඔරුගොඩවත්තේ ගොඩ ගැසුනු මහා කසල කන්ද සමග පොර බැදූ අසරණ මිනිසුන් අද එයටම බිලිවීම මුළුමහත් ජාතියේම අභාග්‍යයකි. අවාසනාවකට මෙන් අපේ මිනිසුන්ට සත්‍යය ඒත්තු ගැන්වීමට බොහෝ කල් ගත වේ.

“අල්ලපු ගමේ කුනු අපේ ගමට එපා. කොළඹ කුනු අපට එපා.” වැනි වර්ගවාදී පටු අදහස් දේශපාලනඥයන්ට රස මසවුළු වන්නේ එවැනි පසුබිමක් තුලය. කුනු කඳුවලින්ම හරි හම්බ කර ගනිමින් මෙවැනි අදහස් වපුරවන දේශපාලකයන් සහ එම අදහස්වලට හුරේ දමන ජනතාව ද තමන්ගේ සිත් තුල පුරවා ගත් දුගඳ හමන කුනු කඳු පුපුරවා හරින තුරු කොළඹ පමණක් නොව රටේ සෑම නගරයකම කුනු ගඳ ලෝකයටම දැනෙනු ඇත.

-සමරවීර වීරවන්නි
(ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය)

Share on Google Plus