ගහ දන්නා මිනිහට කොළ කඩා පෑම සහ ආඩි හත් දෙනාගේ කැඳ හැළිය. - Info Sri Lanka News | Sinhala

ගහ දන්නා මිනිහට කොළ කඩා පෑම සහ ආඩි හත් දෙනාගේ කැඳ හැළිය.


ඔබට පහත දැක්වෙන සිදුවීම් මාලාව වූ වසර මතකද?

කොළඹ නිපොන් හෝටලය අසල බෝම්බයක් පුපුරා 4 දෙනකු මරුට. 28කට තුවාල. අමාත්‍ය ද.මු. දසනායක ජාඇළ දඬුගම සිදුවූ කොටි බෝම්බ ප්‍රහාරයකින් මරුට. බුත්තලදී ක්ලේමෝ බෝම්බයක් පුපුරා බස් මගීන් 27ක් මියගොස් 67කට තුවාල. දඹුල්ලේ බසයක් තුළ බෝම්බයක් පුපුරා 20ක් මරුට 50කට තුවාල. කොටුව දුම්රිය ස්ථානය තුළ මරාගෙන මැරෙන කොටි ප්‍රහාරයකින් මගීන් 11ක් මරුට. 97කට තුවාල. ගල්කිස්සේ බස් බෝම්බයකින් 18කට බරපතළ තුවාල. කොළඹ මාර්ග පරීක්ෂණ ස්ථානයක කොටි බෝම්බකරුවකු අතින් පොලිස් නිලධාරීන් 3 දෙනකු හා සිවිල් වැසියන් 4 දෙනකු මරුට.

කොළඹ පාරක මල් පෝච්චියක සඟවා තිබූ බෝම්බයක් පුපුරා එක් පුද්ගලයකු මරුට. පාසල් දරුවන් ඇතුළු 7 කට තුවාල. අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ හා තවත් 14 දෙනකු වැලිවේරියේදී සිදුවූ මරාගෙන මැරෙන කොටි ප්‍රහාරයකින් මරුට. ජාතික මැරතන් ශූර කේ.ඒ. කරුණාරත්නත් ඒ අතර. පිළියන්දල බසයක් තුළ පාර්සල් බෝම්බයක් නිසා 24ක් මරුට. 52කට තුවාල. කොළඹ නගරය තුළ පොලිස් බසයකට කඩා වැදුණු මරාගෙන මැරෙන බෝම්බකරුවකු පොලිසියේ 11 ක් හා සිවිල් වැසියන් 2ක් මරාදමයි. දෙහිවලදී දුම්රියක් තුළ දෙවැනි වරටත් බෝම්බයක් පුපුරා 8ක් මියගොස් 67කට තුවාල. වැල්ලවත්තේ දුම්රිය මාර්ගයේ අටවා තිබූ බෝම්බයක් පුපුරා 24 දෙනකුට තුවාල. මොරටුව බසයක් තුළ අටවා තිබූ බෝම්බයක් පුපුරා 23ක් මරුට. 87කට තුවාල. නුවර පොල්ගොඩදී බසයක් තුළ අටවා තිබූ බෝම්බයක් පුපුරා දෙදෙනකු මරුට. 20කට තුවාල. මෝටර් සයිකලයකින් පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරුවකු අතින් වවුනියාව පොලිසියේ නිලධාරීන් ඇතුළු 12 දෙනකු මරුට අවට සිටි 40කට තුවාල.

උතුරු මැද මහ ඇමැති අපේක්ෂක විශ්‍රාමික ජෙනරාල් ජානක පෙරේරා හා තවත් 20 දෙනකු අනුරාධපුර පැවැති දේශපාලන රැස්වීමක් අතරතුර ත්‍රස්තවාදී මිනිස් බෝම්බයකින් මරුට.

මේ සියල්ල සිදුවූයේ 2008 වසරේදීය.

කොළඹ මහ නගර සභාව මීතොටමුල්ලට කුණු දමන්නට පටන් ගත්තේත් එම වසරේමය.

උතුරු නැඟෙනහිර යුද්ධය තදින්ම ඇවිළී තිබුණ එම කාලයේ කොළඹ නගර සභාවට ඍජුවම අයත් වගකීමක් වන කුණු කසළ පාලනය ගැන විශේෂ අවධානයක් ජනාධිපතිවරයාගෙන් හෝ ආරක්ෂක ලේකම්වරයාගෙන් යොමුවුණා යැයි සිතිය නොහැකිය. 

ඔවුන්ට විසඳීමට ඊට වඩා බොහෝ දරුණු ගැටලු තිබිණි.

ඒ කාලයේ සිටි පරිසර ඇමැතිට හෝ නාගරික සංවර්ධන ඇමැතිට නම් කුණු විෂය තරමක් දුරට හෝ වක්‍රාකාරව අදාළ යැයි සිතිය හැකිය.
මුළු රටේම ජනතාව මර බියෙන් ජීවත් වූ එම යුගයට ඔබ ආපසු ගියහොත් ඔබ රජයෙන් ඉල්ලන්නේ ඔබේත් පවුලේත් නෑදෑ හිතමිතුරන්ගේත් ජීවිත ත්‍රස්ත උවදුරින් ගලවා දෙන ලෙසද නැත්නම් කොළඹ නගර සභාව නිසියාකාරව කසළ කළමනාකරණය කරනවා දැයි සොයා බලන ලෙසද?

මහින්ද රාජපක්ෂ වසර 9ක් තිස්සේ කොළඹ කුණු ප්‍රශ්නය විසඳුවේ නැත්තේ ඇයි දැයි ඉතා අවඥාවෙන් අසන ඔබේ එම මිතුරන් වෙතොත් ඔබ මතක් කර දිය යුත්තේ වසර 9න් 5ක්ම ගත වූයේ 25 වසරක් පැරැණි මේ රට විනාශ මුඛයට ගෙනයමින් පැවැති ත්‍රස්තවාදය නිට්ටාවටම නිම කරන්නට බවය.

මිනිසුන්ගේ මතකය මෙතරම් කෙටි වන්නේ කෙසේද?

2010 වසරේ ජනවාරි මාසයේ ජනාධිපතිවරණයද, අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තු මැතිවරණයද පැවැත්විණි.

ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය ඒකාබද්ධ කොට ගෝඨාභය රාජපක්ෂ මහතා එහි ලේකම් ලෙස පත්වන්නේ මෙම මැතිවරණයෙන් පසුවය.

නාගරික ප්‍රදේශවල කුණු කසළ ඉවත් කිරීම නගර සභාවලට අයත් කටයුත්තකි. 1956 සිට කොළඹ නගර සභාව පාලනය කළේ එක්සත් ජාතික පක්ෂයයි. 2006-2010 කාලය තුළ පමණක් ස්වාධීන කණ්ඩායමකට නගර සභාවේ බලය හිමි වී තිබුණ අතර එය සිදු වූයේද එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ලැයිස්තුව ප්‍රතික්ෂේප වීම නිසා ඉහත කී කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයට සහාය දෙන කණ්ඩායමක් ලෙස නම් කරනු ලැබීම නිසාය. එම කණ්ඩායමේ නායක මොහෙමඩ් ඉමිතියාස් මහතා දිවුරුම් දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ පැරැණි නායකයකු වන සිරිසේන කුරේ මහතා ඉදිරියේ වීමෙන්ම මෙය තවත් තහවුරු වෙයි.

මෙවැනි තත්ත්වයක් යටතේ කොළඹ නගර සභාව හා රජය අතර සමීප සම්බන්ධතාවක් තිබුණා යැයි සිතිය නොහැකිය. එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අමාත්‍යාංශයට පැමිණි පසු එවකට කොළඹ පැවැති සුවිශේෂී ප්‍රශ්නයක් වූ කසළ කළමනාකරණයට මැදිහත් වී වසර ගණනාවක් පුරා කොළඹ ගඳ ගස්වමින් තිබුණ කුණු එකතු කිරීමේ දුර්වල ක්‍රියාවලිය ශක්තිමත් හා කාර්යක්ෂම සේවාවක් බවට පත් කරන ලදී. ඉන් වසර කිහිපයක් ගත වනවිට කොළඹ නගරය ආසියාවේ පිරිසුදුම නගරයක් බවට පත්වී තිබුණේ මේ අනුවය.

2010 වසරේදී මීතොටමුල්ල කුණු කන්ද පරීක්ෂාවට ගිය ගෝඨාභය රාජපක්ෂ කොළඹ නගර සභාව විසින් වසර 3ක් පුරා ඉතා අක්‍රමත්ව කසළ ගොඩගැසීම නිසා කුණු ගොඩ විශාල කන්දක් බවට පත්වෙමින් තිබෙන බවත් එය ප්‍රදේශවාසීන්ට අවදානමක් බවට පත්වන ආකාරයත් දැක වහාම යුද හමුදාවේ සහාය ගෙන කුණු කන්ද ක්‍රමානුකූලව සමතලා කරන්නට කටයුතු කළේය. මීට අමතරව කුණු කන්ද වටා අගලක් කපා එය මිනිසුන් ජීවත්වන ප්‍රදේශයෙන් වෙන් කිරීමට කටයුතු කළේය. මීට අමතරව කුණු කන්ද ආසන්නයේම ජීවත් වන නිවාස හිමියන් 150 කට රජය විසින් සාදා නිමවෙමින් පැවැති සාලාව තට්ටු නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ලබාදීමට කොළඹ නගර සභාව සමඟ එකඟතාවකට පැමිණියේය. ඉදිරියේදී නිමවන අනෙකුත් තට්ටු නිවාසවලින් තවත් හඳුනාගත් පවුල් රැසකට නිවාස ලබාදෙන්නට කෙටුම්පත් සකස් කරන ලදී.

එතැන් පටන් කුණු කන්ද කළමනාකරණයට විටින් විට නාගරික සංවර්ධන අධිකාරියේ සහාය කොළඹ නගර සභාවට ලබා දෙන ලදී. මීතොටමුල්ලේ හා කරදියාන ප්‍රදේශවල ගොඩ ගැසී ඇති ටොන් මිලියන ගණනාවක කුණු පුත්තලමේ අරුක්කාල්වලට දුම්රියෙන් ගෙනගොස් සනීපාරක්ෂක ලෙස අසුරන්නට ලෝක බැංකුවේ ආධාරයෙන් කළ අධ්‍යයනයක් හරහා යෝජනා වන්නේත් ඒ කාර්යය සඳහා රුපියල් බිලියන 14ක් කැබිනට් මණ්ඩලය විසින් 2014 දී අනුමත කරනු ලබන්නේත් ඒ අනුවය.

මේ සියල්ල සිදුවූයේ නාගරික සංවර්ධන අමාත්‍යාංශය ස්වේච්ඡාවෙන්ම කොළඹ නගර සභාව හා එක්වී රටේ ප්‍රශ්නයකට විසඳුම් සොයන්නට තීරණය කළ නිසාය.

ලංකාවේ අද තිබෙන ප්‍රධානතම ගැටලුවක් වන්නේ යම් වැදගත් ප්‍රශ්නයක් පිළිබඳව ඍජුවම වගකිවයුතු අමාත්‍යාංශය තෝරා ගැනීමයි. ඕනෑම කටයුත්තක් සඳහා අයිතිවාසිකම් කිව හැකි අමාත්‍යාංශ ගණනාවක්, රාජ්‍ය ආයතන ගණනාවක්, දේශපාලන අධිකාරින් ගණනාවක් සොයාගත හැකිය. තමුන්ගේ කොටස වෙනුවෙන් ඔවුන් පොරකන්නේ වාසියක් ඇති විට පමණි. වගකීමක් ගන්නට සිදුවන විට ඔවුන් කරන්නේ එකිනෙකාට ඇඟිල්ල දිගු කොට වගකීමෙන් පැන යෑමයි.

ලෝකයේ දියුණු රටවල මෙවැනි විශාල අමාත්‍ය මණ්ඩල නැත. රාජ්‍ය ආයතනද මෙතරම් විශාල සංඛ්‍යාවක් නැත. කුඩා රටක් වන ලංකාවේ බොහෝ විට එකම කාර්යය කරන්නට ප්‍රාදේශීය සභා හා පළාත් සභා යනුවෙන් දේශපාලන අධිකාරීන් දෙකක් ඇත. මධ්‍යම ආණ්ඩුව විසින් කොහොමටත් ඉටු කරමින් තිබුණ සමහරක් වගකීම් පළාත් සභාවලටත් පැවැරී ජනතාව අද අන්ද මන්ද වී ඇත. පළාත් සභාවලට තව තවත් බලය දෙනවා වෙනුවට ඒවා සම්පූර්ණයෙන්ම ඉවත් කොට ප්‍රාදේශීය සභාවලට වැඩි බලතල ලබාදීම සලකා බැලිය යුතු යැයි සමහරුන් තර්ක කරන්නේ, කියන්නේ ඒ නිසාය. දේශපාලන හේතු මත විශාල කැබිනට් මණ්ඩලයක් නඩත්තු කිරීමට අවශ්‍යම නම් අඩුම ගණනේ ඔවුන් අතර වගකීම් නිසියාකාරව බෙදී යන විද්‍යාත්මක ක්‍රමයකට කැබිනට් මණ්ඩලය යළි සකස් කිරීමට පාලකයන්ගේ අවධානය යොමු විය යුතුය.

කුණු ප්‍රශ්නය හරහා මතුවන අතුරු ප්‍රශ්න අතර මේවාද වේ.

Share on Google Plus