නිදහස් අධ්‍යාපනයේ අස්වැන්න 'EXMO 2017' මොරටුව සරසවියෙන්


නිදහස් අධ්‍යාපනය පිළිබඳ ව විශාල කතිකාවතක් ඇති වී ඇති යුගයක, මහජනතාවගේ බදු මුදලින් අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් තම දක්ෂතාවයන් සමාජයෙහි යහපැවැත්ම සඳහා යොදවන්නේ කෙසේ ද යන්න ශ‍්‍රී ලාංකීය ජනතාවට පෙන්වා දීමේ අරමුණ ඇති ව මොරටුව විශ්වවිද්‍යාලය සුවිශේෂී සහ දැවැන්ත කාර්යයකට අත්පොත් තබා ඇත. ඒ EXMO 2017 තාක්ෂණ හා ඉංජිනේරු ප‍්‍රදර්ශනයයි.

ඉංජිනේරු තාක්ෂණය යනු තාක්ෂණික හා ඉංජිනේරු වෘත්තිකයන් හැරුණු කොට ශ‍්‍රී ලාංකීය ජනතාව අඩුවෙන් ම දැනුවත් වූ ක්ෂේත‍්‍රයක් යැයි පැවසුවොත්, එය නිවැරදියි.

මෙම හේතුව නිසාම ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ ව පුළුල් කතිකාවතක් ඇරඹීම යුගයේ අවශ්‍යතාවක් ව ඇත.

ඉංජිනේරු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සමාජයීය කාර්යභාරය පිළිබඳ ව ජනතාව දැනුවත් කිරීමත්, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉංජිනේරු ක්ෂේත‍්‍රය පිළිබඳ ව උද්‍යෝගයක් ඇති කරලීමත්, එදිනෙදා ජීවිතයට ඉංජිනේරු තාක්ෂණය වැදගත් වන්නේ කෙසේ ද යන්න පෙන්වා දීමත්, ජනතාවගේ තාක්ෂණ සාක්ෂරතාව වැඩි දියුණු කිරීමත්, තාක්ෂණ හා ඉංජිනේරු වෘත්තිකයන් නව ශ‍්‍රී ලාංකීය ඉංජිනේරු ප‍්‍රවණතා පිළිබඳ ව දැනුවත් කිරීමත් මූලික අරමුණු කර ගත් EXMO  2017 තාක්ෂණ හා ඉංජිනේරු ප‍්‍රදර්ශනය සංවිධානය වන්නේ ඒ අනුවය.

මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය විසින් සංවිධානය කරනු ලබන පළමු EXMO  2010 ප‍්‍රදර්ශනයෙන් සත් වසරකට පසු මෙසේ කල එළි බසින EXMO  2017, මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතාගේත්, ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය කපිල පෙරේරා මහතාගේත්, මඟ පෙන්වීම යටතේ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ අධ්‍යයන කාර්ය මණ්ඩලය එක්ව ඉදිරිපත් කරනු ලබයි.

යාන්ත‍්‍රික ඉංජිනේරු, රසායන හා ක‍්‍රියාවලි ඉංජිනේරු, ද‍්‍රව්‍ය විද්‍යා ඉංජිනේරු, පරිගණක විද්‍යා ඉංජිනේරු, සිවිල් ඉංජිනේරු, විදුලි ඉංජිනේරු, විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු, භූ සම්පත් ඉංජිනේරු, පේෂකර්ම හා ඇඟළුම් තාක්ෂණ ඉංජිනේරු, ප‍්‍රවාහන හා ප‍්‍රවර්ධන ඉංජිනේරු, ජෛව වෛද්‍ය ඉංජිනේරු වශයෙන් වූ ක්ෂේත‍්‍ර ගණනාවක් ඔස්සේ වසරකට ඉංජිනේරු වෘත්තිකයන් දහසකට ආසන්න සංඛ්‍යාවක් බිහි කරන මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය, සිය දැනුම් සම්භාරය සියලූම ශ‍්‍රී ලාංකිකයන් සමඟ බෙදා ගැනීමට දරන මේ වෑයම සැබැවින් ම අගය කළ යුත්තකි.

මෙම සියලූ ක්ෂේත‍්‍ර තුළින් විශේෂාංග රැසක් මහජන ප‍්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුව මොරටුව විශ්වවිද්‍යාලයේ විශිෂ්ට ගණයේ අධ්‍යාපනික පීඨයකි.

EXMO  2017 ප‍්‍රදර්ශනයේ දී සාර්ථකව නිමකරන ලද පර්යේෂණ ව්‍යාපෘති හා වර්තමානයේ කොළඹ වරාය කේන්ද‍්‍රගතව ඉදිවන සංකීර්ණ ව්‍යාපෘතිය මෙන්ම මෙගාපොලිස් සැලසුම් නිර්මාණය ද ප‍්‍රදර්ශනය කිරීමට සූදානම් කෙරෙමින් පවතී. එසේම මහජනතාවට තාක්ෂණික ලෝකයේ දොරගුළු විවර කරමින් නිවසක් ඉදිකරගන්නේ කෙසේද යන මාතෘකාව යටතේ දැනුවත් කිරීම, සිවිල් ඉංජිනේරු ව්‍යුහයන්ගේ විහිදීම, ප‍්‍රදේශයක වාන්පද්ධතිය හා ජල බෙදාහැරීම් පද්ධතිය, කොන්ක‍්‍රීට් තාක්ෂණය මෙහිදී ප‍්‍රදර්ශනය කෙරේ. ගමනාගමන ඉංජිනේරු අධ්‍යයනාංශය යටතේ අන්ධ මිනිසුන් වෙත පිරිනැමෙන මාර්ග හරස්මාරු නිර්මාණයක් හා පිරිමිනුම් ආදර්ශනයක්  ප‍්‍රදර්ශනය කිරීමට නියමිතය.

පරිගණක විද්‍යා ඉංජිනේරු ක්ෂේත‍්‍රය යන ුලොව ඉදිරියට යන තාක්ෂණික අංශයකි.

ඒ අනුව පරිගණක විද්‍යා ඉංජිනේරු අධ්‍යයනාංශය විසින් ඉදිරිපත් කරන ප‍්‍රදර්ශනාංග වැදගත් ස්ථානයක් උසුලයි. පරිගණක ඉංජිනේරු අධ්‍යයනාංශය අංශ දෙකක් යටතේ මහජනතාව සඳහා අධ්‍යයන අවස්ථාවන් ලබා දෙන අතර මෙම අංශයේ ප‍්‍රදර්ශන ඉදිරිපත් කිරීම් අතර රොබෝ තාක්ෂණය යටතේ වැඩි දියුණු කළ නිර්මාණ ද ඇතුලත් ය.

මෙම අංශය නව නිර්මාණ මෙන්ම පර්යේෂණ හා සංවර්ධන ව්‍යාපෘති ලෙෂ යන්ත‍්‍ර සූත‍්‍ර, කෘතිම බුද්ධිය, ප‍්‍රතිබිම්බ හා රූපණ සැකසීම ආදී අංශයන් යටතේ නව නිපැයුම් මහජනතාවට ඉදිරිපත් කරයි. ප‍්‍රධාන වශයෙන් තාක්ෂණික දැනුවත් කිරීමේ සැසි, පරිගණක ආරක්ෂාව පිළිබඳ ප‍්‍රදර්ශන කුටි ද මෙම අංශය විසින් ප‍්‍රදර්ශනය කෙරෙනු ඇත.

රසායනික හා ක‍්‍රියාවලි ඉංජිනේරු අධ්‍යයනාංශය ඉංජිනේරු පීඨයේ පවතින ජාත්‍යන්තර තලයේ දෙපාර්තමේන්තු අතරින් එකක් ලෙෂ සැලකේ. මෙම අධ්‍යයනාංශය පෙට්‍රෝලියම්, ආහාර හා ජෛව රසායනික විද්‍යාව යටතේ හා පරිසර විද්‍යාව හා බහු අවයවික විද්‍යා අංශය යටතේ ප‍්‍රදර්ශන කුටි සූදානම් කර ඇති අතර විශේෂයෙන්ම බහු අවයවික සැකසුම්, වාත්තු කිරීම් සැකසුම් ඉදිරිපත්කිරීම්, අප ජලය පිරියම් කිරීම්, කිරි ආශ‍්‍රිත නිෂ්පාදන සැකසුම්, ඉන්ධන ක්ෂේත‍්‍ර නිෂ්පාදනය, ආරක්ෂිත දැනුවත් කිරීමේ වැඩසටහන්, ස්නේහක පද්ධති ආදි අංගයන් රසායනික ක‍්‍රියාවලි මගින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු සංවිධානය කර ඇත.

විදුලි ඉංජිනේරු අධ්‍යයනාංශය මගින් නව්‍යකරණය හා නිර්මාණාත්මක භාවයකින් යුතු විවිධ අභියෝග වෙත මුහුණ දීම සඳහා සිසුන්ගේ කුසලතා වැඩි දියුණු කරමින් හා බුද්ධිය වර්ධනය කරමින් යන ගමනේදී ප‍්‍රමුඛතම දෙපාර්තමේන්තුවක් ලෙස EXMO  2017 මගින් සිසුන්ගේ නවීන දැනුම, නිර්මාණාත්මක ව්‍යාපෘති, තාක්ෂණික දැනුම බෙදාහදා ගැනීමට සූදානමින් සිටියි.

ඒ අනුව  විදුලි පද්ධති ස්වතන්ත‍්‍රකරණය හා රොබෝ විද්‍යාව, විදුලිය ජනනය වන ආකාරය පිලිබඳව ඉදිරිපත් කිරීම, දැනුවත් කිරීමේ වැඩසටහන්, උසස්පෙළ පර්යේෂණ ආදර්ශනය යන අංග මෙම අධ්‍යයනාංශය තුළ ප‍්‍රදර්ශන කුටි තුලදී දැක ගත හැකිය.
විද්‍යුත් හා විදුලි සංදේශ අධ්‍යයනාංශය ශ‍්‍රී ලංකාවේ අතිදක්ශතමයන් හා ලොව පුරා සිටින නව නිර්මාණශීලී හා තාක්ෂණයෙන් ඉදිරියෙන්ම සිටින ඉංජිනේරුවන් බිහිකරන අධ්‍යයනාංශයකි. මේ මගින් විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු ප‍්‍රදර්ශනයේදී මිනිසුන් රහිත රැහැන් ගත වාහන ධාවන, සංඛ්‍යාක හා සංඥා සැකසුම් මගින් ගුවන් විදුලි හා විදුලි සංදේශනය හා ඉලෙක්ට්‍රොනික රොබෝ තාක්ෂණය සමඟ පාසල් සිසුන්ට වැඩමුළු හා ජනතා දැනුම පුළුල් කිරීමේ වැඩසටහන් ඉදිරිපත් කිරීමට සැදී පැහැදී සිටීයි.

ජීව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව මොරටුව විශ්වවිද්‍යාලයේ නව ක්ෂේත‍්‍රයක් ලෙෂ ආගමනය වූ අංශයක් ලෙස හැඳින්විය හැකි අතර මෙහිදී නියුරෝන ඉංජිනේරු විද්‍යාව, ජීව වෛද්‍ය රූපණය හා මෙවලම්කරණය, හෘදවාහිනී ඉංජිනේරු විද්‍යාව, ජෛව තාක්ෂණය, ජෛව යාන්ත‍්‍ර විද්‍යාව ඔස්සේ නව නිපැයුම් හා නවතම නිර්මාණයන් රැුසක් දැක බලා ගැනීමට අවස්ථාව ලැබෙන අතරම නොමිලේ වෛද්‍ය පරීක්ෂණයන් කර ගැනීමේ අවස්ථාව ද මහජනතාවට ලැබෙනු ඇත.

භූ සම්පත් ඉංජිනේරුදෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කරන ප‍්‍රදර්ශනාංග අතර අති නවීන කැණීම් තාක්ෂණය පිළිබඳ ආදර්ශන ද, උමං මාර්ග කැණීමේ යන්ත‍්‍ර ආදර්ශන ද, දිය මත පාවෙන තෙල් අටල්ලක් නැරඹීමට බොල්ගොඩ ජලාශයේ බෝට්ටු සවාරියක් ද, ඩ්‍රෝන තාක්ෂණය භාවිතයෙන් 3D  Site scanning / Mapping ද බලාපොරොත්තු විය හැකි ය.

යාන්ත‍්‍රික ඉංජිනේරු අධ්‍යනාංශයෙන් ද සුවිශේෂී වූ ප‍්‍රදර්ශනාංග රැසක් EXMO  2017 ප‍්‍රදර්ශනයේ දී බලාපොරොත්තු විය හැකි ය’ ඒවා අතර Formula Students 2016 මෝටර රථ ධාවන තරගාවලියේ දී  සම්මාන තුනකට පාත‍්‍ර වූ යාන්ත‍්‍රික ඉංජිනේරු සිසුන් නිපදවූ ධාවන රථය ද, CAD (පරිගණක ආශ‍්‍රිත සැලසුම් නිර්මාණ) තරගාවලියක් ද, මෝටර් කාර්මික ක්ෂේත‍්‍රයට අදාළ වැඩමුළුවක් ද, අවසන් වසර සිසුන්ගේ පර්යේෂණ ව්‍යාපෘති ද ඒ අතර වේ.

ද‍්‍රව්‍ය විද්‍යා හා ඉංජිනේරු අධ්‍යනාංශයෙන් EXMO  2017 වෙත ඉදිරිපත් කරනු ලබන විශේෂාංග අතර කැපී පෙනෙන අංග වන්නේ ද‍්‍රව්‍ය විද්‍යා තාක්ෂණය පිළිබඳ ව වූ දැනුවත් කිරීමේ වැඩසටහන්, සුවිශේෂී ගුණාංග සහිත ද‍්‍රව්‍ය ප‍්‍රදර්ශනය හා අවසන් වසර සිසුන්ගේ පේටන්ට් බලපත‍්‍ර ලද නව සොයා ගැනීම් ය.

ප‍්‍රවාහන හා ප‍්‍රවර්ධන කළමනාකරණ අධ්‍යනාංශයෙන් ද ප‍්‍රදර්ශනාංග විශාල ප‍්‍රමාණයක් මෙහි දී බලාපොරොත්තු විය හැකි ය.  BRT (Bus Rapid Transport) පද්ධතිය ශ‍්‍රී ලංකාවේ යොදාගැනීම පිළිබඳ ව වැඩසටහන් ද, ගුවන් තොටුපළ හා වරායේ අනුරූපණ ද, මෝටර් රථ සැපයුම් දාම ආකෘති ද, පැනමා ඇළ තාක්ෂණය පිළිබඳ හඳුන්වා දීම සහ නවීන නෞකා අනුරූ ද ඒ අතර වේ.

පේෂකර්ම හා රෙදිපිළි තාක්ෂණ ඉංජිනේරු අධ්‍යනාංශයෙන් ඉදිරිපත් කරනු ලබන විශේෂාංග අතර, පැලඳිය හැකි තාක්ෂණය පිළිබඳ වැඩසටහන් ද, නවීන Smart Textile  තාක්ෂණය ගැන දැනුවත් කිරීම් ද, රෙදිපිළි තාක්ෂණයේ නව්‍යතා මෙන් ම පේෂකර්ම ක‍්‍රියාවලි පිළිබඳ ආදර්ශන ද බලාපොරොත්තු විය හැකි ය.

විලාසිතා නිර්මාණකරණ හා නිපැයුම් ප‍්‍රවර්ධන අධ්‍යනාංශයෙන් ඉදිරිපත් කිරීමට අපේක්ෂිත ප‍්‍රධාන අංග අතර තාක්ෂණික හා තිරසාර විලාසිතා නිර්මාණය පිළිබඳ ව දැනුවත් කිරීමේ සැසි ද, ඇඟලූම් නව්‍යතා ද ඉදිරිපත් කිරීම් ද, පතොරම් කැපීමේ ආදර්ශන ද, ඇඟලූම් තාක්ෂණ ප‍්‍රවණතා පිළිබඳ ආදර්ශන ද ඇතුළත් ය.

උපාධි අපේක්ෂකයින්ට පමණක් සීමා වූ විශ්වවිද්‍යාලය සතු වූ විද්‍යාගාර හා උපකරණ දැකබලා ගැනීමට ලැබෙන මෙම මහඟු අවස්ථාව ශ‍්‍රී ලාංකිකයන්ට අමතක නොවන අත්දැකීමක් වනු ඇත.

මේ මහඟු අවස්ථාව සියැසින් දැකබලා ගැනීමට මොරටු විශ්වවිද්‍යාලය ඔබ සැමට ආරධනා කරයි.


Powered by Blogger.